ජපානය දෙවනත් කළ ඇමෙරිකාවේ රත්තරන් කෙල්ල

0
178

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

ටෝකියෝ හී පැවති ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය නිමාවට පත් වුණේ ඇමෙරිකාවට කවදාටවත් වඩා රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගන්න ඉඩ ලැබීමෙන්.ඒ වගේම ආසියාවේ රටක මේ තරගාවලිය පැවත්වුණත් සත්කාරක ජපානයට තබා කිසිඳු ආසියාතික රටකට රන් පදක්කමක් හිමි නොවීමත් කැපී පෙණුන සිදුවීමක්.


ඇමෙරිකාව දිනා ගත් රන් පදක්කම් 16 න් තුනක්ම දිනා දෙන්නේ මෙලීෂා ජෙෆර්සන් වෝඩ්න් වීම කැපී පෙනෙනවා.මෙලීෂා ලෝක මලල ක්‍රීඩා සූරතා රන් පදක්කම් අමුතු නැහැ.ඇයට මීට පෙර 2022 සහ 2023 ලෝක මලල ක්‍රීඩා සූරතා රන් පදක්කම් දෙකක් තියෙනවා.ඒත් මෙවර ඇය පළමු වරට මීටර් 100 සහ 200 පෞද්ගලික ඉසව්වලින් රන් පදක්කම් දිනීම විශේෂයි.ඊට පෙර ඇයට තිබුණේ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කමට හවුල්වීමේ රන් නාමය පමණයි.ඇය මෙවරත් ඒ රන් පදක්කමද ආරක්ෂා කර ගන්නවා.
ඇය 2024 පැරිස් ඔලිම්පික් උළෙලෙදිත් මීටර් 100 සහය දිවීමේ රන් පදක්කමට සහය වුණ ක්‍රීඩිකාවක්.ඒ ඔලිම්පික් රන් පදක්කමට අමතරව පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර 100 පෞද්ගලික ඉසව්වේත් ලෝකඩ පදක්කම හිමිවන්නේ මෙලීෂාටයි.


ඇය සතුව මේ තරම් පදක්කම් ප්‍රමාණයක් තිබුණත් ඇයට වම වයස 24 යි.ටෝකියෝ තරගාවලියේ දී ඇය වාර්තා කරන්නේ මීටර් 100 (තත්පර 10.61) සහ මීටර් 200 (තත්පර 21.68) ඉසව් සඳහා වන ඇයගේ හොඳම කාලයයි.ඇය මීටර් 100 සඳහා වාර්තා කරන්නේ ලොව හොදම සිව්වන කාලය වන අතර මීටර් 200 සඳහා වාර්තා කරන්නේ ලොව හොදම අටවන කාලයයි.එසේම ඇය ඉසව් දෙක වෙනුවෙන්ම වාර්තා කරන කාලයන් දෙක මේ වසරේ එම ඉසව් වෙනුවෙන් වාර්තා වී ඇති හොඳම කාලයන් ද වෙනවා.


මේ විසි හතර හැවිරිදි තරුණිය අදට වඩා 2028 දී ඇයගේම පැවත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන සිහින දකිනවා ඇති.ඒ සඳහා යන්නට ඇයට පසු කර යන්නට තවත් ජයග්‍රාහී කඩ ඉම් බොහොමයක් හමු වේවි.මේ කොතැනකදි හෝ මේ වසරේ මීටර් 100 සහ 200 ඉසව් දෙකටම හොඳම කාලය වාර්තා කරපු මෙලීෂා අතින් එම ඉසව් සඳහා වන වසර 37 ක් පැරනි ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර් සතු ලෝක වාර්තා දෙකම හෝ එකක් බිඳ වැටෙන්නටත් ඉඩ තියෙනවා.


ග්‍රිෆිත් මීටර් 100 තත්පර 10.40 න් සහ මීටර් 200 තත්පර 21.34 දී දිව යද්දී 29 හැවිරිදි තරුණියක්.ඒ අනුව බලන කළ මෙලීෂාට 2028 ඔලිම්පික් උළෙල වන විටත් වන්නේ වයස අවුරුදු 27 ක් පමණයි.මේ අවුරුද්දේ සිය විවාහ දිවිය අරඹා තිබෙන මෙලීෂා විවාහයේ සාර්ථකත්වය පෙන්වමින් පළමු වරට පෞද්ගලිකව කේවල ඉසව් වෙනුවෙන් රන් පදක්කම් දෙකක්ම දිනා ගන්නේ මේ මොහොත වන විට ලොව ඇයගේ වේගය අභිබවා යන්නට අයෙකු නොවන බවට දක්ෂතාවලින්ම සහතික කරමින්.
ලෝකයේ කොතන සිටින කවුරු වුව ද ක්‍රීඩාවේදි විශ්මය දනවන හැකියාවන් පෙන්වන්නේනම් ඇයට හෝ ඔහුට ලොවම ආදරය කරනවා.ගෞරව කරනවා.ජපානයේ පැවති ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය නිමාවේදී සමස්ත ලෝකයේම ක්‍රීඩාවේ දක්ෂයන් සමඟ තරග කර රන් පදක්කම් තුනක්ම දිනා ගැනීමට සමත් වූ මෙලීෂා ඒ නිසාම මේ වන විට ලෝකයේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී ඇත.