දකුණ සෙවූ නායකයාත්, උතුර සෙවූ මිතුරාත් එක මිටට ගත් අනුරට අවුරුද්දයි!

0
131

කොළඹ LNW: පුනරුද යුගයක් වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවේ වාඩිකරවා දැන් වසරක් සම්පූර්ණ වී තිබේ. දශක අටකට ආසන්න කාලයක් පැවති තට්ටුමාරු දේශපාලනය ජනතා ජන්දයෙන්ම පරාජය කර ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පවා විශ්වාස කළ නොකළ බලයක් ලබා දී ආණ්ඩුවත් ඔවුන් අතටම පත්කරන ලදී. ආරම්භයේ පටන්ම ව්‍යුහාත්මක වෙනස්කම් සමඟින් ආණ්ඩුව සිය ගමන ආරම්භ කරන ආකාරය දක්නට ලැබුණි. ජනාධිපතිවරණය අවසන් වී වසරක් ගෙවුණු තැන නැවත හැරී බලන විට පරිවර්තනීය වෙනසක් නැතැයි කිවනොහැකිය. බොහෝ දේ රට තුළ වෙනස්වෙමින් තිබෙන බවත් පරණ පුරුදු වෙනස් කරන්නට බොහෝ සෙයින් වෙහසක් ගන්නා බවත් පැහැදිලිවම පේන්නට ඇති කාරණයකි. කෙසේවෙතත් දශක අටකට ආසන්න කාලයක් ඔළුගෙඩි මාරුවෙවි දුවපු එකම ට්‍රැක් එක කණපිට පෙරළන එක දවස් තුන්සිය හටපහකින් කරන්න හැකි දෙයක් නොවන බව ඕනෑම පොඩි එකෙකුට පවා වැටහෙන්නකි. කෙසේවෙතත් ඊට අවශ්‍ය මාවත් විවෘත කරගනිමින් ජනාධිපති අනුර ඇතුළු NPP ආණ්ඩුව ඉදිරියට එමින් ඉන්නවා කියන එක පැහැදිලි ලෙසම කිව යුතුයි.

විශේෂයෙන් ආණ්ඩුව සතු සුපිළිපන්නභාවය, නීතිය නිසිලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන අයුරු පෙනෙන්නට,දැනෙන්නට තිබීම,මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය වෙනුවෙන් අත තබා තිබීම, ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන වෙනස්කම් ඇති කිරීමට ගෙන තිබෙන සෘජු මැදිහත්වීම,කෘෂිකර්මාන්තය ඔසවා තැබීමට දරන වෙහෙස මෙන්ම අනෙක් පසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අත තබා තිබීම ඇතුළු සකල විධ කාරණා කෙරෙහි මේ මොහොතේ ජනතාව විවෘත මනසකින් බලා හිඳිනා තත්ත්වයන්ය.

රටත් ජනතාවත් සුඛිත, මුදිත කර සකල සැප දෙන්න පොරොන්දු පිට පොරොන්දු දී රටම නන්නත්තාර කර අවසානයේ ජනතාව විසින් උස්සා පොළවේ ගැසූ දේශපාලනය යළි ජනතාව අපේක්ෂා නොකරන්නකි. එහෙයින් සතර කොණේම ජනතාව ජනාධිපති අනුර ප්‍රමුඛ NPP ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය නොයෙක් ආකාර නා ගැනීම්,හාගැනීම් වලින් කිළිටි කර නොගැනීමද ඔවුන් සතු කාර්යයකි. සාතිශය බහුතරයක් පිළිගත් පුනරුද යුගයක, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යතාර්ථයක් කිරීමට ආණ්ඩුව නොපසුබටව යන ගමන වෙනුවෙන් මේ මොහොතේ ඉතා විවෘතව සුභ පැතීමටද අපි නොපසුබට වන්නෙමු. දේශපාලනය තුළ ගොඩ යා යුත්තේ තෝරාගත් පිරිසක් නොව සමස්ත රටමය. රටවැසියාමය. ජනාධිපති අනුර ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය වන්නේද එයමය. එමනිසාම ආණ්ඩුව කෙරෙහි ජනතාව අපේක්ෂා සහගතව තවදුරටත් බලාහිඳින බවද පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව ආණ්ඩුවේ ක්‍රමයට ඉදිරියට යමින් සිටින අතර අනෙක් පසින් රටේ විපක්ෂය ද බැහැර කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම කෙරෙහි විපක්ෂයේ භූමිකාව ද බලපාන අතර රටකට ශක්තිමත් විපක්ෂයක් ද අවශ්‍ය කාරණයකි. එහෙත් මේ මොහොතේ මේ රටේ විපක්ෂයේ විභවතාව පිළිබඳ ප්‍රශ්නයක් පවතින අතර විපක්ෂය ද අලුත් වීම පසෙකලා සකල විධ කසල එකතු කරමින් යාම පොදු නිරීක්ෂණයයි. ගමනාන්තයක් ගැන අදහසකින් තොරව විපක්ෂය ගමන් කරමින් සිටින බව පෙනෙන්නට තිබීම තුළම ඔවුන්ට තවමත් ආණ්ඩුව තේරුම්ගැනීමට ඇති නොහැකියාව පෙන්නුම කරමින් තිබේ.

දකුණ සෙව්වේ නායකයෙකි. උතුර සෙව්වේ මිතුරෙකි. එකමිටට නායකයාත් මිතුරාත් වීමට අනුර කුමාර දිසානායකට හැකිවිය. විපක්ෂයට ශක්තිමත් වීමට නම් මේ මොහොතේ ජනාධිපති අනුර ප්‍රමුඛ NPPයේ ඒ විභවතාව හඳුනාගත යුතුය. එය කියවා ගැනීම හෝ නොගැනීම විපක්ෂයේ වැඩකි. දේශපාලන පිට්ටනිය තුළ ජීවය පවත්වාගෙන යාමට ආණ්ඩුවට සමගාමීව විපක්ෂයද ක්‍රියාත්මක විය යුතු අතර එය ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් සෞඛ්‍ය පවත්වාගෙන යාමකි.

කෙසේවෙතත් දැන් ජනාධිපති අනුර සමඟ රටේ දේශපාලන ක්‍රියාවලිය බලාපොරොත්තු සගහත ප්‍රවේශයකට පැමිණ තිබේ. සැබෑ ලෙසම මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ ලස්සන ජීවිතයකි. සැප,සතුට කියන්නේ කුමන හැඟීමක්ද යන්න හෝ නොදැන දස දහස් ගණනක් මිනිසුන් දුක තුළම ඉපිද, දුක තුළම හැදී වැඩියි, දුක තුළම මිහිදන් වූ රටක තවදුරටත් එය එසේ විය යුතු නැත.