අපේ වත්කම් ගැන අහන්න එපා. ඒක අසාධාරණයි, මට උත්තර දෙන්න බැරුවා නෙවෙයි, ඒත් අහන්න එපා ! – ඇමති හඳුන් තදින් සිටී (VIDEO)

0
331

සටහන – රුවන් නෙළුගොල්ල

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම දේශපාලනඥයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ පාරේදී හමුවී ඒ ගැන විමසන හැම කෙනාටම පිළිතුරු ලබාදීමට නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ අනුව මැති ඇමතිවරුන්ගේ වත්කම් පිළිබඳව රූපවාහිනී සංවාදවලදී ප්‍රශ්න නොකළ යුතු බවත් නිවේදකයාට ප්‍රශ්නයක් ඇත්නම් ඔහු අල්ලස් කොමිසමට ඒ ගැන ලිඛිතව පැමිණිල්ලක් කර විමර්ශනයක් ඉල්ලා සිටිය යුතු බවත් අමාත්‍යවරයා තරයේ අවධාරණය කළේය.

ප්‍රශ්නය – මේ ඉදිරිපත් වෙලා තියෙන වත්කම් ප්‍රකාශ බොහෝවිට අසම්පූර්ණ, මේවායේ විශ්වසනීයභාවය ගැන දැඩි ප්‍රශ්න මතුවෙන සහ මේ වත්කම් ප්‍රකාශ කිරීමේ නීතිය සමහර වෙලාවට විහිළුවකට දාලා ඉදිරිපත් කරලා තියෙන වත්කම් ප්‍රකාශ කියලා පේන්න තියෙනවා. මම කියන්නෙ නෑ මේක ආණ්ඩු පක්ෂය විතරක් කරලා තියෙනවා කියලා, නමුත් මම ආණ්ඩුව ගැන ප්‍රශ්න කරන නිසා අපි යමු කැබිනට් මණ්ඩලයේ කීපදෙනෙක් වෙතට. ඔබෙන් පටන් ගමු. ඔබේ වත්කම් ප්‍රකාශය …

“කළිඳු, මම පොඩ්ඩක් බාධාකිරීමක් කරන්නම්. ඔයයි මමයි මේක පරීක්ෂණයක් කරනවා නෙවෙයිනෙ. ඔබට හරි මාධ්‍යයේ මේවා වෙලා තියෙන ඕනෙ කෙනෙක්ට හරි ඕනෙ පුරවැසියෙකුට වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක හරි නෑ, මේක ප්‍රමාණවත් නෑ, මේක මදි, මේවා හොයාගත්තෙ කොහොමද කියන එක පිළිබඳව පැමිණිල්ලක් දාන්න, අල්ලස් හෝ දූෂණ කොමිසමට පරීක්ෂණයක් ඉල්ලන්න පුළුවන්….”

ප්‍රශ්නය – ඇයි රට ඉදිරියේ මේක විමසන්න බැරි ?

“නෑ, ඒක ඔයාට මම කියන්නෙ අපි දෙන්නා මේක විභාග කරන එක සාධාරණ නෑ”

ප්‍රශ්නය – මම මේක විභාග කරන්න උත්සාහ කරන්නෙ නෑ …

“නෑ, මම කියන්නෙ ඒක විභාගයක් වෙනවා”

ප්‍රශ්නය – මට ප්‍රශ්නයක් අහන්න තියෙන නිසා …

“ඒ ප්‍රශ්නය අහන්න ඔබට අයිතිය හරි … හැබැයි ඒක …. මම කියන්නෙ ඒක හරිම අසාධාරණයි”

ප්‍රශ්නය – ඇයි ඔබ එහෙම කියන්නෙ ?

“ඒකට පරීක්ෂණ කරන්න ආයතනයක් තියෙන නිසා. දැන් මේකෙ ක්‍රමවේදය ඕක නෙවෙයි”

ප්‍රශ්නය – මම අහන්නෙ නෑ ඔබ වත්කම් හොයාගත්ත ක්‍රමවේදය පිළිබඳව. මට ප්‍රශ්නය අහන්නවත් ඉඩදෙන්න …

“මම ඒකට උත්තර දෙන්න බැඳිලාත් නෑ, හරිද ? මම කියන්නෙ ඔයා අහනවා නම් ඒකට තියෙනවා ක්‍රමයක්. මොකද ඕක අහන හැම කෙනෙකුටම ක්‍රමයක් තියෙනවානෙ”

ප්‍රශ්නය – ඔබ කියන්නෙ මට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියලාද ?

“අනිවාර්යයෙන්ම”

ප්‍රශ්නය – ඔබ කියන්නෙ ඔබෙන් මේ රූපවාහිනී සංවාදයේදී ඒ ගැන අහන්න එපා කියලා ?

“එපා !”

ප්‍රශ්නය – ඇයි ඔබ එපා කියන්නෙ ?

“ඒකට ක්‍රමයක් තියෙන නිසා”

ප්‍රශ්නය – දැන් ඔබ කැබිනට් ඇමතිවරයෙක් විදියට වගකීමකින් යුතුව සහභාගී වෙද්දී ගරු ඇමතිතුමා, ඇයි මට බැරි යම් ප්‍රශ්නයක් විමසන්න ?

“ඒක ක්‍රමය නෙවෙයි”

ප්‍රශ්නය – සම්මුඛ සාකච්ඡාකවදී ඔබෙන් ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ වගකීම සහ අයිතිය මාධ්‍ය සතු විය යුතුයි …

“මාධ්‍යයට අයිතිය සතු වුණාට රටේ නීතියක් තියෙනවා සහ ඉදිරිපත් කරපු ක්‍රමවේදයක් තියෙනවා. අල්ලස් හෝ දූෂණ කොමිසම මේවා ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ දකින දකින කෙනාට පාරෙදි හම්බුනාම අහලා ප්‍රශ්න කරන්න නෙවෙයි හරිද ?”

ප්‍රශ්නය – පාරෙදී නෙවෙයි ගරු ඇමතිතුමා. මම ඔබව පාරෙදී මුණගැසුනා නෙවෙයි. මා ඔබව මුණගැසෙන්නේ රටේ ජනතාව බලාගෙන ඉන්න දේශපාලන සංවාදයකදී. ඒ අනුව ඔබේ වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතියට පටහැණිභාවයක් තියෙනවා යැයි මට තියෙන නිරීක්ෂණය ඔබට ඉදිරිපත් කරලා එයට පිළිතුරක් ලබාගැනීමට මට තියෙන අවස්ථාව ඇයි ඔබ අහුරන්න උත්සාහ කරන්නෙ ?

“ඒ බාධාව තියෙන්නෙ පරීක්ෂණ ක්‍රියාවලියක් ඇතුළෙ ඕනෙ කෙනෙකුට පුළුවන් අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ලිඛිතව අල්ලස් හෝ දූෂණ කොමිසමට වාර්තා කරලා පරීක්ෂණයක් ඉල්ලන්න. මොකද මම ඔබෙන් මෙහෙම ඇහුවොත් එහෙම ? දැන් ඔබ ඊළඟ 360 දවසෙ ඉඳලාම මේ වත්කම් බැරකම් ප්‍රකාශ එළිදක්වලා තියෙන හැමකෙනාම ගෙනල්ලා මෙතෙන්ට හැමකෙනාගෙන්ම ඕක අහනවාද ?

ප්‍රශ්නය – අහන්න පුළුවන්. ඇසිය යුතුයි. අහනවා !

“අහන්න වෙනවා ඔයාට එහෙනම්. මොකද හේතුව හැමෝටම ඒ සාධාරණ අවස්ථාව තියෙන්න එපැයි. මගේ එකට උත්තර දෙන්න බැරිකම නෙවෙයි මම මේ කියන්නෙ, මේක ක්‍රමයක් නෙවෙයි”

ප්‍රශ්නය – ඔබම කිව්වා ඉතාම නිවැරදිව වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙන බව. වර්තමාන ආණ්ඩුව බලයේ සිටින නිසාම මේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලැබිලා තියෙන රුකුල ගැන ඔබ කිව්වා. ඔබ දැඩි විශ්වාසයකින් නිරවද්‍යභාවය ගැන කතා කරනවා නම් මට තියෙන ප්‍රශ්නයක් අසන්නට ඉඩ නොදෙන්නෙ ඇයි ඔබ ?

“ඔයාට ප්‍රශ්න අහන්න පුළුවන්…”

ප්‍රශ්නය – මම ප්‍රශ්නය අහන්නද, ඔබට පුළුවන් උත්තර නොදී ඉන්න ?

“හරි”

ප්‍රශ්නය – මේ වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරද්දී දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව උපදෙස් පත්‍රිකාවක් ලබාදීලා තියෙනවා. ඒ අනුව ආකෘති පත්‍රයක් තියෙනවා සියලුම දෙනාට වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන්න. එහි සඳහන් වෙනවා වත්කම් සඳහන් කිරීමේදී එය මිලදීගැනීමක්ද, ත්‍යාගයක්ද හෝ වෙනත් ආකාරයකින් ලද දෙයක්ද යන්න පිළිබඳව සඳහන් කරන්න කියලා. ඊට අමතරව තියෙනවා වෙනත් ආකාරයකින් අත්පත් කරගත් දෙයක් නම් ඒ කෙසේද යන්න පැහැදිලි කරන්න කියලාත් ප්‍රසිද්ධියේ මිලදීගත් සුරැකුම්පත් හැර අනෙකුත් වත්කම් මිලදීගත් මුදල සටහන්කර ප්‍රකාශය ඉදිරිපත් කරන අවස්ථාව වනවිට ඒවායේ වටිනාකම පිළිබඳව සද්භාවීය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්න කියලාත්. දැන් මගේ ප්‍රශ්නය, හැබැයි ඔබතුමා ඔබතුමාගේ නමට තියෙන පර්චස් 44ක ඉඩමක් පිළිබඳව වත්කම් ප්‍රකාශයේ දක්වලා තියෙනවා, නමුත් එය අත්පත් කරගත්ත ආකාරයටත් ඔබ “නැත” කියලා ලියනවා, එහි වටිනාමකටත් ඔබ “නැත” කියලා ලියනවා. ඇයි මේ කරුණු ඔබ වත්කම් ප්‍රකාශයට ඇතුළත් කරන්නෙ නැත්තෙ ?

“ඒ ගැන ඔයාට සෑහීමකට පත්වෙන්න බැරිනම් පැමිණිල්ලක් දාලා පරීක්ෂණයක් ඉල්ලන්න”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ 360 සංවාදයට එක්වෙමිනි.