රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW :
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කළ බව වාර්තා වේ.
මෙම තීන්දුව ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ලබා දුන් බව සඳහන් වේ.
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.
එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, රවූෆ් හකිම් සහ පාටලී චම්පික රණවක යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව වග උත්තරකරුට එරෙහිව 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස සම්බන්ධ පනත යටතේ චෝදනා ගොනු කෙරුණි .
වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා ඉකුත් වසරේ සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ බව පැවසේ..
මෙම චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අවස්ථාවේදී තමන් එම චෝදනාවලට තමා නිවැරදිකරු බව වග උත්තර කරු ප්‍රකාශ කර තිබුණු අතර, ඒ අනුව සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.
එහිදී සාක්ෂි දුන් ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක කරන ලෙස වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා විසින් තමන්ට උපදෙස් ලබා නොදුන් බවයි.
ඉන් පසුව මෙම නඩුකරය ඉකුත් ජූලි මස පළවනදා විභාගයට ගත් අවස්ථාවේදී අදාල චෝදනාවලට නිවැරදි කරු යැයි තමන් කලින් සඳහන් කළ විත්ති වාචකය ඉවත් කරා ගන්නා බවත් තමන් අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවත් වග උත්තරකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුණි
ඉන් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත්කරමින් යසන්ත කෝදාගොඩ විනිසුරුවරයා සඳහන් කළේ මෙම ක්‍රියාව තුළින් විත්තිකරු අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර ඇති බවයි.
ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කරන බවත් ඉන් ඔහු රිමාන්ඩ් භාරයේ පසු වසරක කාලය අඩුකරන බවත් විනිසුරුවරයා සඳහන් කල බව වාර්හා වේ.
ඒ අනුව වග උත්තරකරුට වසර දෙකක සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා එම සිර දඬුවම අත්හිටුවීම නොකරන බවත් සඳහන් කර ඇත.
මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරු අධිකරණයට බරපතල අපහාසයක් සිදු කර ඇති බවත් තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වන වටහාගෙන උපක්‍රමශීලී ආකාරයට පසුව වරද පිළිගැනීමට කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කළ බව වැඩිදුරටත් වාර්තා වේ .
