“ත්‍රස්තවාදී” කැරලිකරුවෝ රහසිගත හමුවක

Date:

පසුගිය අගෝස්තු මාසේ දවසක මාලඹේ සමිති ශාලාවකට බොහොම රහසිගතව පිරිසක් රැස්වෙලා හිටිය.

පිරිස අතරේ හිටපු වැඩි දෙනෙක් “ත්‍රස්තවාදීයෝ.” නැත්නම් තවත් සමහරු කියන විදියට කැරලිකාරයෝ. මේ අතරින් වැඩි දෙනෙකුට ඒ කාලේ නම් මිනිස්සු කිවුවේ “චේ ගුවේර කාරයෝ” කියල.

කණ්ඩායමේ නායකයා මේ හමුව සංවිධානය කරලා තිබුණෙ චේ ගුවේර තාලේ වැඩකටම තමයි.

දන්න අඳුරන “ත්‍රස්තවාදීන්ට” හොර රහසේ කෝල් කරලා එන්න කිවුව මිසක් මේ වැඩේ ගැන ප්‍රසිද්ධියේ කිසිම ප්‍රචාරයක් දීල තිබුණෙත් නෑ. වැඩි ආරක්ෂාවට ආරාධිතයින්ට කෝල් කරලා තිබුණෙත් whatsapp එකෙන්.

රැහේ නායකයා හිර ගෙවල් කඩාගෙන ගිහින්, කැලේ පැනල විප්ලව කරලා හොඳට පුරුදු හැට පැන්නත් තාමත් බිමින් නොයන “ත්‍රස්තවාදියෙක්”.

රහසිගතව සංවිධානය කළත් අන්තිමට සියයකට වැඩි පිරිසක් ඒ ශාලාවට එකතුවෙලා හිටිය.

වැඩේ පටන්ගන්නකොට කැරලි නායකයෝ ගණනාවක් සමුළු ශාලාවේ.

හැමෝම හිටියේ තුෂ්නිම්භූත වෙලා – මොකක්ද මේ වෙන්න යන්නේ කියල හිතාගන්න බැරුව. ආණ්ඩුවට අවුරුද්දක් පිරෙන්නත් යන වෙලාවේ අලුත් කැරැල්ලක් ගහන්න යනවද දන්නෙත් නෑනේ.

ඒත් වැඩේ පටන් ගත්තේ ගුණදාස කපුගේ ගේ සිංදුවකින්.

” නින්ද නැති රැයේ …”

ගායක කණ්ඩායම අපේ මිත්‍ර මොළ සෙනෙවිරත්නගේ මිතුරන් පිරිසක්.

රැහේ නායකයත් සින්දුවට අත්වැල් ඇල්ලුවා.

මාස ගණන් කැලේ පැනල, එකට හිරගෙවල්වල ලැගල, එකට හිරගෙවල් කඩාගෙනත් පැනල හොඳින්ම දැනගෙන හිටපු රැහේ නායකයා දක්ෂ ගායකයෙක් කියල සමහර “ත්‍රස්තවාදියෝ” දැනගත්තෙත් ඒ වෙලාවේ.

අන්තිමට මේ රහසිගත හමුව සොඳුරු සැන්දෑවකට පරිවර්තනය වුණා.

සාම්ප්‍රදායික book launch එකක් වෙනුවට ඒක 71 කැරැල්ලේ නායකයින් පිරිසක්, ඔවුන්ගේ සමීප සගයින්, ඒ නායකයින්ගේ වර්තමාන පරම්පරාව, ඥාතීන් සහ මානව ප්‍රේමය වෙනුවෙන් කැපවුණ මිනිසුන් පිරිසකගේ ආගිය කතා සහ සංගීතයෙන්, මධුවිතෙන් වගේම රස ආහාර වේලකිනුත් පිරුණ ලස්සන සවසක් බවට පත්වුණා.

වසන්ත දිසානායක, සුනන්ද දේශප්‍රිය, පැට්‍රික් ප්‍රනාන්දු, හේමමාලි විජේසිංහ, විමල් ප්‍රනාන්දු වගේ 71 කැරැල්ලේ නායක, නායිකාවෝ මතකය අවදි කළා.

කැරැල්ලේ අත්දැකීම් ගැන වගේම ඔවුන් කතා කළේ රැහේ නායකයා ගැන.

බර්ටි රංජිත් හෙවත් රංජිත් හේනායක ආරච්චි හෙවත් රංජිත් ලොහ්බිලර් ගැන. 71 කැරැල්ලේදී යාපනේ හිරගෙදර හිටපු රෝහණ විජේවීර බේරගන්න හිරගෙදරට පැන්න කණ්ඩායම් නායකය ගැන. 71 කැරැල්ලේ නායකයෙක් වෙලත්, ජවිපෙ දෙවෙනි කැරැල්ල වෙලාවේ ජවිපෙ භීෂණයෙන් පණ බේරාගන්න බර්ටි රංජිත් ට ලංකාවෙන් පැනල යන්න සිදුවුණ හැටි ගැන.

සුහද හමුවේ අරමුණ රංජිත් හේනායක ආරච්චි ගේ අලුත්ම පොත “ඊසා අසබඩ” එළිදැක්වීම වුණත් ඒ කවුරුවත් පොත ගැන කථා කළේ නෑ. ඒත් ඔවුන් කියපු බොහෝ දේවල් කැරලි නායකයා ඊසා නදිය අසබඩ ඉඳගෙන පොතේ සටහන් කරල තිබුණ.

චූලානන්ද සමරනායක, සන්ධ්‍යා එක්නැලිගොඩ, සුසිල් හේනායක ආරච්චි,

ජයම්පති බුලත්සිංහල, එස් සිවගුරුනාදන්, නිමන්ති හේනායක ආරච්චි, බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයනි අබේසේකර, සුධීරා හේනායක ආරච්චි කැරලි නායකයා ගැනත්, දේශපාලනය ගැනත් කතා කළා.

රුවන්දි සිල්වා සහ තුෂාරි සිල්වා කියන්නේ බර්ටි රංජිත් ට ජීවිතය බේරාගෙන රටින් පැනල යන්න අවශ්‍ය සියලු දේ සංවිධානය කරපු ඔහුගේ සමීපම සගයා – නන්දසේන සිල්වා – ගේ දියණියන් දෙදෙනා. රුවන්දිත්, තුෂාරිගේ දියණිය කමීෂා කුමාරසිංහත් සංවාදයට එකතු වුණා. (රුවී ගේ කතාව පහත සටහන් කරන්නම්).

පොතක් ගැන කතා කරන්න ආපු අපි, ලංකාවේ එදා, අද දේශපාලනයත්, ලංකාවේදී වගේම ජර්මනිය ඇතුළු ජාත්‍යන්තර තලයේ රංජිත් හේනායක ආරච්චිගේ දේශපාලන භූමිකාවත්, රංජිත් කියන සැබෑ මිනිසා ගැනත් සුහද කතාබහක යෙදුණ.

ඔහුගේ ජාත්‍යන්තර දේශපාලන භූමිකාව ගැන වගේම විප්‍රවාසී දිවියේ ශ්‍රී ලංකා පරිච්ඡේද ගැනත් රංජිත් ගේ බිරිඳ, බාර්බරා (බබ්සි) ලොහ්බිලර්, අපූරු මතක සටහනක් තැබුවා.

“ඊසා අසබඩ” 71 කැරැල්ලේ නායකයෙකුගේ අත්දැකීම් ඇසුරෙන් ලියැවුණ ග්‍රන්ථ මාලාවක කතුවරයා වන රංජිත් හේනායක ආරච්චි ඒ සම්බන්ධයෙන් ලියූ අවසාන ග්‍රන්ථයයි. Grantha.lk සමාගම එය බෙදා හරින නියෝජිතයායි.

කැමරාව කනිෂ්ක කුමාරසිංහ ගේ.

– සරෝජ් පතිරණ

2025 සැප්තැම්බර් 22

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...