Sunday, November 27, 2022
spot_img

Latest Posts

ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ …

පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 23) දින ලංකාවේ ණයහිමියන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟත්වය ලබා ගෙන තිබෙන ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ කලින් ප්‍රකාශයට පත් කර නොතිබුණු අමතර තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. මෙම තොරතුරු අනුසාරයෙන් ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ පිළිබඳ වඩා පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඊට අමතරව, එයටම සම්බන්ධ, ණය ප්‍රතිව්‍යුහකරණ වැඩ පිළිවෙළ පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන්ද මේ සාකච්ඡාවේදී ඉදිරිපත් කර තිබෙනවා.

උද්ධමනය පාලනය කරන්න පුළුවන් වෙයිද?

ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතා කරද්දී මේ වන විට ප්‍රධානම මාතෘකාවක් වී තිබෙන්නේ උද්ධමනයයි. පසුගිය අගෝස්තු මාසයේදී උද්ධමනය 70.2% මට්ටම දක්වා ඉහළ ගොස් තිබුණා. වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% මට්ටමේ තිබුණා. වැඩ පිළිවෙළෙහි ඇති ඇස්තමේන්තු අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 48.2% දක්වා ඉහළ ගොස්, 2023 වසරේදී 29.5% මට්ටම දක්වා අඩු වෙනවා. ඉන්පසු 2024 වසරේදී 6% දක්වා අඩු වී, 2027 දක්වා කාලය තුළ ක්‍රමක්‍රමයෙන් 5% මට්ටම දක්වා පහළ යනවා.

උද්ධමන ඉලක්ක:

2022- 48.2%

2023 – 29.9%

2024 – 6.0%

2025 – 5.9%

2026 – 5.2%

2027 – 5.0%

මේ වසරේ පළමු මාස අටේ සාමාන්‍ය උද්ධමනය 41.3% වීම සැලකූ විට, වසරේ සාමාන්‍ය අගය 48.2% වීම සඳහා, අවසාන මාස හතරේ සාමාන්‍ය අගය 61.9% ,මට්ටමේ තිබිය යුතුයි. අගෝස්තු උද්ධමනය 70.2% වීම සැලකූ විට 48.2% ඇස්තමේන්තුව නිවැරදි වේයැයි මා සිතන්නේ නැහැ. දෙසැම්බර් වන විට උද්ධමනය 60-65% පමණ දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරි මාස හතරේ සාමාන්‍ය උද්ධමනය 65-70% පමණ මට්ට්කමවත් පවතිනු ඇති බව මගේ ඇස්තමේන්තුවයි. ඒ අනුව, 2022 වසරේ සාමාන්‍ය උද්ධමනය 50% ඉක්මවීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ඉහත ඇස්තමේන්තුවේ විශාල ඇස්තමේන්තු වරදක් පෙනෙන්නට නැහැ.

ලබන වසරේ සාමාන්‍ය උද්ධමනය 29.9% මට්ටම දක්වා රැගෙන ඒම නරක ඉලක්කයක් නෙමෙයි. වසර මුල උද්ධමනය 60-65% අතර තිබුණත්, වසර අවසාන වෙද්දී එම අගය 6% පමණ දක්වා අඩු කර ගත හැකිනම් සාමාන්‍ය අගය ඉහත මට්ටමට එනවා. තව දුරටත් සල්ලි අච්චු නොගසන්නේනම්, මේ වන විට අච්චු ගසා ඇති සල්ලි වල උද්ධමන බලපෑම ඉවත් වූ පසු ඉතා පහසුවෙන්ම ඉහත ඉලක්කය කරා යා හැකියි. කෙසේ වුවද, ඒ සඳහා විණිමය අනුපාතයද ස්ථාවර ලෙස තබා ගත යුතු වෙනවා. ස්ථාවරව තබා ගැනීම යනු එකතැන හිර කර තබා ගැනීම නෙමෙයි.

එළඹෙන 2023 වසර අවසාන වන විට උද්ධමනය 6% මට්ටම දක්වා පහත වැටේනම් එය වැඩි වන්නට නොදී, 2027 වන වට 5% මට්ටම දක්වා අඩු කර ගැනීම කළ හැක්කක්. කෙසේ වුවත්, ඒ සඳහා දිගින් දිගටම යම් ප්‍රමාණයකින් විදේශ ප්‍රාග්ධනය රටට ගලා ආ යුතුයි.

ආර්ථිකය නැවත ගොඩ යන්නේ කවදාද?

මේ වසරේදී 8.7%කින් හැකිලෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති දළ දේශීය නිෂ්පාදිතය ස්ථායීකරණ වැඩපිළිවෙළ යටතේ 2023දී තවත් 3.0%කින් හැකිළීමට නියමිතයි. ඉන්පසුව, 2024දී 1.5%කින්, 2025දී 2.6%කින්, 2026දී 3.0%කින් හා 2027දී 3.1%කින් ආර්ථිකය වර්ධනය වෙනවා. ඒ කියන්නේ, ඉදිරි වසර තුළ තව දුරටත් පහළ යාමෙන් පසුව, 2028 වන විට ලංකාවේ ආර්ථිකය නැවතත් 2018දී පැවති මට්ටමට පැමිණෙන බවයි.

ආර්ථික වර්ධන ඉලක්ක:

2022 – (-8.7%)

2023 – (-3.0%)

2024 – 1.5%

2025 – 2.6%

2026 – 3.0%

2027 – 3.1%

මෙය හොඳ මට්ටමක් නොවන සේ කෙනෙකුට පෙනෙන්න පුළුවන්. කෙසේ වුවත්, ප්‍රායෝගිකව මීට වඩා හොඳ ඉලක්කයක් කරා යන්න බැහැ. මෙය තමයි යථාර්ථවාදී ඉලක්කය. මේ අනුව, 2018-2028 දශකය ලංකාවට “අහිමි වූ දශකයක්” වෙනවා. ඉන් පසුවද, ආර්ථික වර්ධනය 3% මට්ටමෙන් ඉහළට ගැනීම වෙනම අභියෝගයක්.

මේ ඉලක්ක වලට නිකම්ම යන්න පුළුවන්ද?

කිසිසේත්ම බැහැ. ඔය මට්ටමෙන් වැඩේ ගොඩ දාගන්න රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වනු ඇත්තේ සැලසුම් කර ඇති පරිදි රජයේ ප්‍රාථමික හිඟය පහළ යන්නේනම් පමණයි. 2022දී දදේනියෙන් 4.0%ක් වූ ප්‍රාථමික හිඟය 2023දී දදේනියෙන් 0.7%ක් දක්වා අඩු කළ යුතුයි. ඉන් පසුව, 2024දී මෙය දදේනියෙන් 0.8%ක අතිරික්තයක් කර, 2025දී දදේනියෙන් 2.3%ක අතිරික්තයක් දක්වා ඉහළ දමා ගත යුතුයි. එම මට්ටම 2027 දක්වා (හා ඉදිරියට) නඩත්තු කළ යුතුයි. මේ සඳහා, රාජ්‍ය ආදායම් වැඩි කරගෙන වියදම් සීමා කළ යුතුයි. ඒ කොපමණ දුරකටද කියන එක පසුව විශ්ලේෂණය කරමු.

ප්‍රාථමික ශේෂය/ දදේනි ඉලක්ක:

2022 – (-4.0%)

2023 – (-0.7%)

2024 – 0.8%

2025 – 2.3%

2026 – 2.3%

2027 – 2.3%

මෙහෙම කළොත් ඩොලර් ප්‍රශ්නය විසඳෙයිද?

මේ වසරේදී, එනම් 2022දී, දදේනියෙන් 3.4%ක් ලෙස පවතිනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන ජංගම ගිණුමේ හිඟය 2023දී දදේනියෙන් 2.0% දක්වාත්, 2024දී දදේනියෙන් 1.2% දක්වාත් අඩු කරගෙන ඉන්පසු එම මට්ටමේ පවත්වාගෙන යාම සැලසුමයි. ඒ කියන්නේ සැලසුම අනුව, දැනට වඩා අඩු වුවත්, ජංගම ගිණුමේ හිඟයක් දිගටම නඩත්තු වෙනවා. ඒ හිඟය පියවීම සඳහා දිගින් දිගටම විදේශ ණය අවශ්‍ය වෙනවා.

ජංගම ගිණුම් ශේෂය/ දදේනි ඉලක්ක:

2022 – (-3.4%)

2023 – (-2.0%)

2024 – (-1.8%)

2025 – (-1.8%)

2026 – (-1.8%)

2027 – (-1.8%)

අපේක්ෂා කරන විදිහට මේ විදේශ ණය ගන්න ලැබුණේ නැත්නම්, ඩොලරයේ මිල වැඩ සටහනේ සැලසුම් කර ඇති මට්ටමේ තියා ගන්න බැහැ. එහෙම බැරි වුනොත්, සැලසුම් කර ඇති පරිදි උද්ධමනය පාලනය කරන්නත් බැහැ. ඒ නිසා, 2027 වන තුරු (සහ ඉන් පසුවත්) වාර්ෂිකව යම් විදේශ ණය ප්‍රමාණයක් ගන්නම වෙනවා. ඊට අමතරව රජයේ අයවැය හිඟය පාලනය කරගෙන සල්ලි අච්චු නොගසා ඉන්නත් වෙනවා.

මෙච්චර දඟලලත් අන්තිමට ඔච්චරද?

මා දකින විදිහට මෙහි තිබෙන්නේ දැන් ලංකාව වැටී සිටින තැන සිට යා හැකි උපරිම දුරයි. කටින් බතල වැඩ පිළිවෙළක් මිස, මීට වඩා හොඳ වැඩ පිළිවෙළක් හැදිය හැකියැයි මා සිතන්නේ නැහැ. ඇත්තටම ප්‍රශ්නය මේ වැඩ පිළිවෙළ වුවද ශුභවාදී (optimistic) වැඩ පිළිවෙළක් වීමයි. ශුභවාදී වුවත්, මෙය මනෝරාජික වැඩ පිළිවෙළක්නම් නෙමෙයි.

මේ වැඩ පිළිවෙළ යටතේ වුවද රාජ්‍ය ණය තිරසාරත්වයක් නැහැ. ඒ කියන්නේ, මේ ඉලක්ක වලට යමින් ණය ආපසු ගෙවන්න බැහැ. අපේක්ෂිත මට්ටමේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්නම වෙනවා. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණයහිමියන් එකඟ විය යුතුයි.

පසුගිය ජූනි අවසානය වෙද්දී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය (මහ බැංකුවේ සහ රජයේ ඇප මත ලබාගෙන තිබෙන රාජ්‍ය ව්‍යවසාය වල ණයද සමඟ) ඩොලර් බිලියන 80.5ක්. 2021 දෙසැම්බර් අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක් වුවත්, ඩොලරයක මිල ඉහළ යාම නිසා ණය ප්‍රමාණය 20%කින් පමණ අඩු වී තිබෙනවා.

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 46.6ක් විදේශ ව්‍යවහාර මුදල් වලින් ලබාගෙන ඇති ණයයි. දළ වශයෙන් එයින් බාගයක් පමණ වාණිජ ණය ලෙසත්, කාලක් පමණ ද්විපාර්ශ්වික ණය ලෙසත්, ඉතිරි කාල බහු පාර්ශ්වික ණය ලෙසත් වර්ග කළ හැකියි. මේ අතරින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස දෙක තුන තුළ සිදු වනු ඇති බව අපේක්ෂාවයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කර, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබෙන්නට පුළුවන්. ලබන ජනවාරි පමණ වන විට මෙම පළමු වාරිකය ලබා ගැනීම ලංකාවේ අපේක්ෂාවයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.