රේගුවේ රඳවාගත් වාහන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් – කාක්කෝ වගේ පරණ ගේම් ගහන්න ආපු අයට නීතිය තදින් !

0
155

සටහන – රුවන් නෙළුගොල්ල

වාහන ආනයන සඳහා රජය ගත්තේ අසීරු තීරණයක් බවත් එම ක්‍රියාමාර්ගය අවභාවිතා කරමින් මුදල් ඉපයීමට තැත් කළ ඇතැම් ආනයනකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කෙරෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ වාහන ආනයනය අපි අවුරුදු 5ක් විතර වහලා තිබුණා. අපි ටිකක් හොයලා බැලුවා, 2018දී වාහන ආනයනය කරලා තිබුණා ඩොලර් බිලියන 2.2 ක වගේ, වැඩිම. 2019දී බිලියනයකට ආසන්නව ආනයනය කරලා තිබුණා. එතකොට අවුරුදු 5කදී වාහන ආනයනය නැවතී තිබීමෙනුත් අපි විශාල ලෙස ආර්ථික අර්බුදයකට ආයෙ යනවා, ඒකයි ඇත්ත කතාව. හැබැයි අපි ඒ වෙලාවෙ ආයෙ කල්පනා කළා, කොයි වෙලාවෙ හෝ මේ රිස්ක් එක බාර අරගෙන අපි මේක නිදහස් කරන්නත් ඕනෙ. හැබැයි නිදහස් කරන පළමු වෙලාවෙදී මේ වගේ තෙරපුමක් අනිවාර්යයෙන්ම එනවා. එතකොට අපි මැනගන්නවා අපිට මේ තෙරපුමට මුහුණ දෙන්න පුළුවන්ද කියලා. ඩොලර් බිලියන 1ක් – 1.2ක් අතර මුදලක් වාහන ආනයනයට නිදහස් කරගන්න පුළුවන් වෙයි කියන අදහසක අපි හිටියෙ. හැබැයි ඊයේ වෙනකොට අපේ LC ඕපන් වෙලා තියෙනවා ඩොලර් බිලියන 1.6ක, වාහන ආනයනය කරලා තියෙනවා ඩොලර් බිලියනයකට ආසන්නව.

හැබැයි එතකොට සමහර ක්‍රියාමාර්ග අපට ගන්න සිද්ධ වුණා මේක අර විවෘතව වේගයෙන් කඩාගෙන වැදෙනවා වෙනුවට සමහර බාධාවන් ටිකක් අපට හදන්න සිද්ධ වුණා. එහෙම නැතිවුණොත් වාහන මත අපි ගන්නා මේ තීන්දුවෙන් මුළු ආර්ථිකයම බිඳවැටෙන්න පුළුවන්. ඒ නිසා දුමින්ද අපි ඇතුළුව අවස්ථා ගණනාවක් දිනපතා එකතුවෙලා සාකච්ඡා කරලා තමයි මේ පියවර ගත්තේ. එතකොට මම හිතනවා අර සමහර පැරණි ඒවාගේ ඉවත් වෙලා ඇති, සමහර අපි ගත්තු ඒවාගේම යම් යම් වෙනස්කම් ඇති, අපි ඒක සාකච්ඡා කරගන්න ඕනා ඊළඟ පියවරේදී.

හැබැයි එකක් – මං හිතනවා මෙතන කවුරුත් එහෙම අය නැතිව ඇති කියලා – අර නිකම් කල දුටු තැන වල ඉහගන්නවා වගේ මේ අවස්ථාව එනකොටම සමහර අය ඒ අවස්ථාව උපයෝගී කරගත්ත ආකාරය ගැන නම් අපිට පැහැදීමක් නෑ. මම ඉතා විවෘතව කියන්නෙ. අපි රටක් හැටියට අසීරු තීන්දුවක් ගන්නවා මේක විවෘත කරන්න, සමහර අය ඒකෙදී කාක්කෝ වගේ මේකෙන් අර පැරණි ගේම ගහන්න කියලා ආවා. ඒ නිසා අපි තදට නීතිය නම් ක්‍රියාත්මක කරනවා. දැන් මම දන්නවා සමහර වාහන වගයක් හිරවෙලා තියෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. වෙනදා ඕවා සතියෙන් දෙකෙන් ආයෙ නිදහස් කරනවා, ඒත් අපි කරලා නෑනෙ ? නඩුවක් ගිහිල්ලා තියෙනවා, දැන් අධිකරණයෙන් කියලා තියෙනවා බේරුම්කරණයකට එන්න කියලා. අපි බේරුම්කරණයේදී අපේ ස්ථාවරය කියන්නම්. ටිකක් ශක්තිමත් ස්ථාවරයක අපි බේරුම්කරණයේදී ඉන්නෙ. මොකද, එහෙම වාහන ගෙනල්ලා වැඩක් නෑ වගේ තැනකට බේරුම්කරණයේදී එනවා. ඇයි ? තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගන්නත් ඕනෙ, හැබැයි මේ අවස්ථාව මොකක්ද ? අන්න ඒක ගැනත් ටිකක් සැලකිල්ලට ගත යුතුව තිබුණා. ඒ හින්දා ගැටලු තියෙනවා නම් අපි ඊළඟ පියවරේදී නිරාකරණය කරගන්න තියෙන්නේ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සිය ජපන් සංචාරය තුළදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවූ අවස්ථාවේදී ය.

පසුගිය සමයේදී මෝටර් ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක් මත විදුලි වාහන රැසක් සහ ණයවර ලිපි විවෘත කිරීමේ විවිධ ගැටලු මත අනෙකුත් වාහන රැසක් ද ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් නොකර රඳවාගෙන තිබූ අතර ඒවා සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු කිහිපයක් ද සිදුවෙමින් පවතී. අඩුවෙන් බදුගෙවා මෙම වාහන නිදහස් කරගෙන වැඩි ලාභයක් සහ වෙළඳපොලේ වැඩි වාසියක් අත්පත් කරගැනීමේ අරමුණින් ඇතැම් ව්‍යාපාරිකයින් වාහන ආනයනයේදී විවිධ වංචනික ක්‍රියාවන් සිදුකර ඇති බව ද පසුගිය දිනවල වාර්තා වී තිබිණි.