සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ටින්කර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට!

0
117

කොළඹ LNW: ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාර දී ඇති අතර සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

‘ටින්කර්’ නැමති සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

මෙම සැකකරු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් පැමිණි කාර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති අතර 2025.08.19 වන දින පෑලියගොඩ පොලිස් වසමේ ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන්ට අපරාධය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් වෙයි.

දැනට ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර සැකකරු අගෝස්තු 19 වන දින විදෙස් ගතවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අංක 05 ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.