මොනෑෂ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික පර්යේෂකයින් දෙදෙනෙක් ඇතුළු කණ්ඩායමෙන් නවතම සොයාගැනීමක්! UN සම්මානයත් දිනාගනී!

0
144

කොළඹ LNW:මොනෑෂ් විශ්වවිද්‍යාලය (Monash University) නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ (UN) කීර්තිමත් දේශගුණික සම්මානයක් දිනා ගැනීමට සමත් වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුන් වන ආචාර්ය සහකාර මහාචාර්ය සමන් ඉලංකෝන් සහ ආචාර්ය උපාධි පර්යේෂක මනූජ දයානාත් මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත.

ඔවුන් මැලේසියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය නියෝජනය කරන අතර, ඔවුන්ගේ සෙසු ආචාර්ය උපාධි පර්යේෂකයන් වන ෂෆීක් අහමඩ් සයිඩ් අලි (Shafeeq Ahmed Syed Ali) සහ ලෝඩ්ස් ලෝ යේ ෂිං (මෝර්ගන්) (Lourdes Loh Ye Shing (Morgan)) ද මෙම කණ්ඩායමේ සිටිති.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය (UN Sustainable Development Solutions Network – SDSN) විසින් සියමන්ස් එනර්ජි (Siemens Energy – ජර්මනිය) සමඟ එක්ව සංවිධානය කරන ලද “Universities for Goal 13” ගෝලීය තරගයේ 4 වන සංස්කරණයේ ප්‍රධාන සම්මානය මොවුන් විසින් දිනාගෙන තිබේ.

නිව්යෝර්ක් හි පැවති 80 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව SDSN හි 25 වන නායකත්ව කවුන්සිල රැස්වීමේදී සැප්තැම්බර් 19 වන දින මෙම සම්මානය නිවේදනය කරනු ලැබීය.

ලන්ඩන් විශ්වවිද්‍යාල විද්‍යාලය (University College London), හැම්බර්ග් විශ්වවිද්‍යාලය (University of Hamburg), සහ සිංහුවා විශ්වවිද්‍යාලය (Tsinghua University) වැනි ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල අවසන් තරගකරුවන්ගේ යෝජනා පරදවා මෙම කණ්ඩායමේ යෝජනාව ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයකි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට 2050 වනවිට ශුද්ධ ශුන්‍ය (net-zero) ඉලක්ක සපුරා ගැනීම සඳහා ආර්ථික වශයෙන් කාබන් ග්‍රහණ තාක්ෂණයන් අවශ්‍යයි. ඒ සඳහා මෙම කණ්ඩායමේ විසඳුම වී ඇත්තේ කාර්මික දුම් වායූ, වටිනා ජෛව ස්කන්ධයට පරිවර්තනය කොට මුදාහැරීමයි. මයික්‍රෝ ඇල්ගී ෆෝටෝබයෝරැක්ටර් භාවිතා කිරීමේදී කාර්මික දුම් වායුවලින් කාබන් ඩයොක්සයිඩ් (CO2) ග්‍රහණය කර එය වටිනා ජෛව ස්කන්ධ බවට පරිවර්තනය කිරීම සඳහා ක්ෂුද්‍ර ඇල්ගී ඡායා ජීව ප්‍රතික්‍රියාකාරක භාවිතා කරන සංකල්පය මෙහිදී ශ්‍රී ලාංකික කණ්ඩායම විසින් හඳුන්වා දී තිබේ. පිරිවැය සහ ක්‍රියාකාරීත්වය තක්සේරු කළ නියමු අධ්‍යයනවලින් හෙළි වූයේ මෙම පද්ධතියට වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් ටොන් 8.5ක් සාර්ථකව ග්‍රහණය කර ගත හැකි අතර, ඒ හරහා ජෛව ස්කන්ධ ටොන් 5ක් ජනනය කළ හැකි බවයි. මෙම පද්ධතියට ඇත්තේ වසර දෙකක කෙටි ආපසු ගෙවීමේ කාල සීමාවක් පමණයි.

මෙම ක්‍රියාවලිය මගින් විමෝචනය ග්‍රහණය කර ගැනීමට අමතරව, ස්වභාවික වර්ණක, ජෛව පොහොර සහ පිරිසිදු බලශක්තිය ද නිෂ්පාදනය කරනවා. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ කාර්මික කලාපවල සහ බලශක්ති අංශයේ ක්‍රියාත්මක කළහොත්, එය ජාතික දේශගුණික ඉලක්කවලට සහාය දෙනවාට අමතරව, තිරසාර නිෂ්පාදන මගින් නව ආදායම් මාර්ග උත්පාදනය කිරීමට ද සමත් වන බව එම කණ්ඩායම අනාවරණය කරයි.

මෙම නවෝත්පාදන විසඳුම තවදුරටත් පුළුල් කිරීම සඳහා අදාළ කණ්ඩායම වෙත ඇමරිකානු ඩොලර් 10,000ක් සහ ජාත්‍යන්තර ජාලකරණ අවස්ථා ද ලබාදී තිබේ.