*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

වංචනික බැඳුම්කර ගනුදෙනු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උගුල!

කොළඹ LNW:ශ්‍රී ලාංකීය ජනතාව ඉමහත් වෙනසක් සඳහා නැවතත් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඔවුන් දේශපාලන ප්‍රධාන ධාරාෙවන් පරිබාහිර ජනාධිපතිවරයකු තෝරාගෙන නිදහසින් පසු රට පාලනය කළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්, 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු ක්ෂණයකින් බිඳ වැටිය හැකි තත්වයක ඇති ආර්ථිකයක් උරුමකර ගන්නා අයෙක් වශයෙන්, දැන් බලයට පත්වන ඕනෑම ජනාධිපතිවරයෙකු සිටින්නේ දුෂ්කර තත්වයක ය.මෙම ඓතිහාසික මොහොතේ අප රට මුහුණ පා ඇත්තේ දේශපාලන වෙනසෙහි නැවුම් හුස්ම සහ ආර්ථිකය අරක්ගත් පිළුණු වූ බලවේග අතර ප්‍රතිවිරෝධයටය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට එරෙහි හිරිහැර ආරම්භ වී තිබුණේ ඔහු තේරී පත්වීමට දින කිහිපයකට පෙර සිටය. ඔහු තේරී පත්වීමෙන් සති දෙකක් ඇතුළත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර සංස්ථාපිතය, වංචනික බැඳුම්කර ගනුදෙනුවක් පිළිගන්නා තැනට නව ආන්ඩුවේ දෑත් අඹරවා ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කේන්ද්‍රයෙහි ඇති මෙම ගිවිසුම අනාගතයේදී රටට ඩොලර් බිලියන ගණනක් අලාභ කරනු ඇත.

අප වැනි වඩා කුඩා රටවලට ගණන් බේරාගැනීමට සිදු වී ඇත්තේ, ආසියාවේ බලවතුන් විසින් දැන් දෙපසින් පිරිවරනු ලැබ සිටින, ජාමූඅ විසින් මෙහෙයවනු ලබන මෙම බටහිර නව යටත් විජිතවාදී කූටෝපායන්ට ය.

ඇත්ත වශයෙන්ම, ධනයට සහ බලයට වර්ණයක් නොමැත. තවද, විසිඑක්වන සියවසේ සූරාකෑමේ නිරත ගෝලීය මූල්‍ය පර්යාෙයහි මුදල් උපයා ගැනීමට අවශ්‍ය වූ විට, ණයහිමියා සහ ණයගැතියාගේ තර්කනය එය සුදු-බටහිරද නැතිනම් වර්ණවත්-ආසියාවද යන්න නොසළකා අධිනිශ්චය කරයි.

කොමියුනිස්ට් ඇමක්

දිසානායකට සහය දැක්වීමේ රැල්ල පැහැදිලිව පෙනෙන විට ජාමූඅ සිය න්‍යාය පත්‍රය සංඥා කිරීම ඇරඹීය. මැතිවරණයට සතියකට පෙර, සැප්තැම්බර් 12 වෙනිදා, ජාමූඅ ප්‍රකාශකයා මෙසේ පැවසී ය: “වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ තම දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන ප්‍රමුඛතාවයකි. මා දැනටමත් සඳහන් කර ඇති පරිදි, බොහෝ ප්‍රගතියක් ලබා ඇත, නමුත් රට තවමත් අනතුරෙන් මිදී නොමැති අතර, එම මහත් උත්සාහයෙන් දිනා ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.”

ව්‍යාපාරික මාධ්‍ය ඇතුළු බටහිර සංස්ථාපිතය රට අත්පත් කර ගැනීමට සැඟවී සිටිය හැකි අය දඩයම් කිරීමට පටන් ගත්හ. කොමියුනිස්ට් බිල්ලා පිළිබඳ බිය දල්වන ලදී. මාක්ස්වාදියෙකුට, සහ එමෙන්ම අත්දැකීම් නොමැති මාක්ස්වාදියෙකුට, ආර්ථිකය කළමනාකරණය කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩ කළ හැකිද? යි ඔවුහු ඇසූහ.

බටහිර උන්ගේ සොඳුරිය, ජනාධිපති වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් තමන්ගේ වාසියට උපරිම ප්‍රයෝජන ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියේය.ඔහු තව කොතෙක් පහතට රූටා ගියේද යත්, පසුගිය වසර දෙක පුරාවටම කළාක් මෙන් රටේ අනාගතය විකිණීම සඳහා මැතිවරණයට දින තුනකට පෙර ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කළේය. මැතිවරණයට දින දෙකකට පෙර, ප්‍රචාරණය තහනම් කාලය ආරම්භ වූ පසු, ඔහු එළියට පැමිණ බැඳුම්කර හිමියන් සමඟ ගනුදෙනුවකට එළඹ ඇති බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ග්‍රහණයට ගෙන සිටින චෞර වංශාධිපතියන්ට එය මීට වඩා හොඳ ආකාරයකින් සිදු විය හැකිව නොතිබුණි; එක් අතකින් ඊනියා සාර්ථක ගනුදෙනුවක් පෙන්වීමට උත්සාහ කරන පරාජය මුව විට බලාපොරොත්තු සුන් වී සිටින ජනාධිපතිවරයකුය, සහ අනෙක් අතින්, නීත්‍යානුකූල නොවන නායකයෙකු සමඟ ඔහුගේ අවසාන දිනවල දී ගිවිසුමකට මුද්‍රා තැබීමට උනන්දුවෙන බැඳුම්කර හිමියන්ය. එවැනි ගනුදෙනු අලුත් දෙයක් නොවේ, මන්දයත් මෙම තිර පිටපත දශක ගණනාවක් තිස්සේ බොහෝ පශ්චාත් යටත් විජිත රටවල රඟ දක්වනු ලැබ ඇත.

ජාත්‍යන්තර මාධ්‍යයෙහි දිසානායක ජනාධිපතිවරයාට සහ ඔහුගේ පක්ෂයට එරෙහි කර්කශ කතිකාව ලොව පුරා අගනගරවලින් ලැබුණු පණිවිඩ ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික දෙබිඩි-කතා සමඟ දසත පැතිරී ගියේ ය. ජනාධිපතිවරයා සහ දශක ගණනාවකට පෙර කැරලි දෙකකට නායකත්වය දුන් ඔහුගේ පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණ 1990 ගණන්වල සිට දේශපාලන බිමේ මධ්‍යයට අවතීර්ණ වූ බව සැලකිල්ලට ගනු නොලැබුණි. බටහිර කියමනට අනුව පරීක්ෂා කිරීමට නම් කාලා ම බැලිය යුතුය; එබැවින්, ඔබ රැඩිකල් නොවේ නම්, ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කෙසේ හෝ ගිල ගත යුතු අතර වසර කිහිපයකින් ශ්‍රී ලංකාව දෙවන ණය පැහැර හැරීමකට ඇද දමන දුෂ්ට බැඳුම්කර ගනුදෙනුවක් පවා පිළිගත යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාලය අහිමි වන්නට ඉඩ හැරියේ නැත. ජනපති පදවි ප්‍රාප්තියෙන් පසු සතියේ ඔවුන් සිටියේ කොළඹය. ඔවුන් රජයට දන්වා සිටියේ අවසානයේ දී ණය තොගයේ සියයට දහයක අඩුවීමක් පමණක් ලබා දිය හැකි බැඳුම්කර ගනුදෙනුවක් ඔවුන්ගේ ණය තිරසාරත්ව විශ්ලේෂණයට අනුකූල වන බවය. තවද, විශේෂයෙන්ම චීනය, ජපානය සහ ඉන්දියාව වැනි මහා ආසියානු බලවතුන් නියෝජනය කරන ද්විපාර්ශ්වික ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ඔවුන්ගේම ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ බැඳුම්කර හිමියන්ගේ ණය වටිනාකම අඩු කිරීමද සමානව සැසඳිය හැකි බව සොයා ගෙන ඇති බවය. මුදල් අමාත්‍යාංශය මෙම බැඳුම්කර ගනුදෙනුව මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමේ තම අභිප්‍රාය පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

වහල්භාවයෙන් බැහැරවීම

මහා බලවතුන් විසින් පිටුබලය දෙනු ලබන ජාමූඅ උගුල මීට වඩා හොඳ කාල නිර්ණයකින් අටවනු නොහැකිව තිබුණි. නව ජනාධිපතිවරයා පූර්ව රැකවලා සමඟ පෙලගැසී සිටින නිලධාරි තන්ත්‍රයක අභියෝගවලට මුහුණ දී සිටියි, කොළඹ ප්‍රභූ පැලැන්තිය ආණ්ඩුව කඩාකප්පල් කිරීමට මාන බලා සිටියි, තවද පාර්ලිමේන්තු මැතිවරණයට ඉතිරිව ඇත්තේ යාන්තම් තව මාසයකට වැඩි කාලයක් පමණක් වන අතර එහිදී ජනාධිපතිවරයාට ඔහුගේ සන්ධානයට දැන් හිමිව ඇති හුදු ආසන 3 හා සසඳන කළ ආසන 113ක බහුතරයක් අවශ්‍ය වේ. බටහිර තර්ජනවලට භූ දේශපාලනික සහ මූල්‍ය බලයේ පිටුබලය ලැබෙන බව අපි අපේ ඉතිහාසයෙන් අපි දනිමු. 1970 ගණන්වල වමට බර සමගි පෙරමුණු ආන්ඩුව ඇමරිකා එක්සත් ජනපදයෙන් ඈත් වී නොබැඳි ව්‍යාපාරයේ කක්ෂය තුළට ගිය විට මුහුණ දුන් දෙය නම් හුදකලා කිරීම සහ ප්‍රාග්ධන වර්ජනය ය.

ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ සර්කස් සංදර්ශනය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. දේශපාලන පක්ෂ එම සටනෙහි නිරත වෙද්දී, රටක් වශයෙන් මිනිසුන්ගේ දුක්විඳීමෙහි ගැඹුර සහ අපගේ ආර්ථිකය පිළිබඳ අනාගතය කෙසේ වනු ඇත්ද යන්න තක්සේරු කිරීමට අපට සිදුවෙයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ රැඳී සිටියහොත් එය අපගේ ජනතාවට වඩාත් වේදනා ගෙන දෙනු ඇත, එය එසේ වන්නේ බලවත් ණය හිමියන්ට ණය ආපසු ගෙවනු ලැබීම උදෙසාය. සහන ලෙසින් යමක් ලැබෙනු ඇත්තේ සුළුවෙනි, නව රැකියා ඇතිවනු ඇත්ෙත් නැති තරම් ය, එකතැන පල්වෙන ජීවනෝපායන් පමණක් ඉතිරිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන 2027 දී අවසන් වන විට, එහි අවසාන ඉලක්කය වන්නේ රජය විසින් සෑම වසරකම විදේශ ණය සහ පොළී ආපසු ගෙවීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් ආපසු ගෙවීමට සිදුවීමයි. ඒ සඳහා බදු අය කිරීම තුළින් උපයන රාජ්‍ය ආදායමෙන් 30% ක්, අපනයන ආදායම් වලින් 30%ක් වටිනා විදේශ විනිමය වශයෙන් ආපසු ගෙවිය යුතු වෙයි.

තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතියට අනුව ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායීතාවය පදනම් වනු ඇත්තේ 2027 වසරේ සිට සෑම වසරකම ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8% ක් යළි ස්වෛරීත්ව බැඳුම්කරවලින් ණයට ගැනීම මත වනු ඇති අතර, එය බාහිර ණය සහ පොළී ආපසු ගෙවීමට යොදා ගනු ඇති දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% න් කොටසක් දිගින් දිගට කෙරෙන ණය ගැනීමට හා ණය ගෙවීමට යොදා ගනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, 2027 සිට, ශ්‍රී ලංකාව, ඊළඟ ණය අර්බුදයට මග පාදමින්, නැවතත් සෑම වසරකම ඩොලර් බිලියන 1.5 හෝ ඊට වැඩි ඉහළ පොලී සහිත ස්වෛරීත්ව බැඳුම්කර බැඳුම්කර හිමියන්ගෙන් ණයට ගැනීම ආරම්භ කරනු ඇත. අපේක්ෂිත නව බැඳුම්කර අදාළ සන්දර්භය තුළ තබන්නේ නම්, ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ට ගෙවිය යුතු මුළු වත්මන් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.6 ක් වන අතර, සාර්ව සම්බන්ධිත බැඳුම්කර ලෙස හැඳින්වෙන එහි විවිධ අනිශ්චිත ප්‍රතිපාදන සමඟින්, පසුගිය සිකුරාදා පිළිගත් වංචනික ගනුදෙනුවෙන් එම ණය තොගය අඩුවීම සිදු වනු ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ට වඩා අඩුවෙනි.

මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍යකරුවන් ගේ වහල්භාවයට යළි පත් කිරීමේ ජාමූඅ උගුල ක්‍රියාත්මක වී ඇත. අපි රටක් සහ ජනතාවක් ලෙස එම උගුලේ රැඳී සිටීමට කැමැත්තෙමු ද?

අහිලන් කදිරගාමර්

2024 ඔක්තෝම්බර් 7 වැනි දින Daily Mirror පුවත් පත Crooked Bond Deals and the IMF Trap යන මැයෙන් පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan