රංග දිසානායකට එරෙහිව විපක්ෂය අවි අමෝරයි!

0
249

කොළඹ LNW: අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීමේදී සභානායකවරයා සහ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් කර ඇතැයි සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

සභානායකවරයා ලෙස බිමල් රත්නයක මහතා සහ කථානායකවරයා යන දෙදෙනා විසින්ම එම වරද සිදුකා ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ, මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමිනි.

ඒ අනුව සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් ඒ පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙසයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම සිදුව ඇති බරපතල කාරණය පිළිබඳව කථානායකතුමාගේ පැහැදිලි කිරීමක් මෙම සභාවට ලබාදෙන ලෙසද මන්ත්‍රීවරයා පවසන ලදී.

”අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024.10.14 වැනි දින අයැදුම්පත් කැඳවීමේ දැන්වීම නිකුත් කර ඇත. පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරිපත් වී ඇති අයැදුම්පත්‍ර අතරින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාගේ නම් තෝරාගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අපේක්ෂකයන් වෙත ලබාදී ඇති නිර්දේශ සලකා බැලීමේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත කුමාර විමලසිරි ජිනදාස මහතාගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මියගේ නිර්දේශ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වන බැවින් ආණ්ඩුකාර තනතුර දේශපාලන පත්වීමක් හේතුවෙන් එම නිර්දේශ කිරීම දේශපාලන මැදිහත්වීමක් වන බව සලකා පස් දෙනෙක් මාධව තෙන්නකෝන් මහතා වෙනුවෙන් ද හතර දෙනෙක් රංග දිසානායක මහතා වෙනුවෙන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ඡන්දය ප්‍රකාශ කර ඇත.

පසුව සභානායක බිමල් රත්නායක මහතා අදාළ නිර්දේශ ලිපි ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීමට පෙර බැවින් එය දේශපාලනික ලිපි නොවන බව දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ වචනය විශ්වාස කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය රංග දිසානායක මහතා වෙත සිය ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් ඔහු තෝරාගෙන ඇත. නමුත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට් පත්‍රය 2024.09.27 වැනි දින ප්‍රසිද්ධ කර ඇති අතර ඔවුන් විසින් රංග දිසානායක මැතිතුමාගේ නම නිර්දේශ කර තිබෙන්නේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් වූ පසුව බව දැනගැනීමෙන් පසු එදිනම මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය විසින් කථානායකතුමන් වෙත දිවුරුම් ප්‍රකාශයක් මගින් ඊමේල් පණිවිඩයක් හරහා සිය ඡන්දය භාවිතා කිරීමේදී සිදුවූ තත්ත්වය පිළිබඳව විරෝධය දක්වා තිබේ.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛනය (අ) කොටසේ 4 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තු කාරක සභාවක් රැවටීමේ අදහසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බලවත් වරදක් වන අතර එම වරද හිතාමතාම සභානායක බිමල් රත්නායක මහතා විසින් සිදුකර ඇත. එසේම කථානායකතුමන් ද අදාළ වරදම සිදුකර ඇති අතර එය මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙසත් සභානායකවරයා ලෙසත් ඔවුන් දෙදෙනාම සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් සිදුකර ඇත.එම තත්ත්වය මත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බැවින් ඒ පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙසත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම සිදුව ඇති බරපතළ කාරණය පිළිබඳව කථානායකතුමාගේ පැහැදිලි කිරීමක් මෙම සභාවට ලබාදෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ