ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ආදායම, සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන, අපනයන සහ විදේශ ප්‍රේෂණ මත රඳා පවතියි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් උපයන ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3කි.
2024 වසරේ සංචාරක ක්ෂේත්‍රයෙන් ලද සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් වූ අතර, එම වසරේ ලද සමස්ත විදේශ ප්‍රේෂණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6කි.
විදෙස් ආයෝජන සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ සාකච්ඡා ඇති වූ අතර, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන වියදම ඉහළ යාම සහ පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් එහිදී අවධානයක් යොමු විය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සඳහා ඇති අවස්ථාව සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත්තේ, එවන් පසුබිමක ය.
විවෘත ආයෝජනයට සුදුසු පරිසරයක් ඇති කිරීමට රජයේ ආයතනික ධාරිතාව සීමාසහිත බව එම වාර්තාවේ දැක්වේ.
සමස්තයක් වශයෙන්, ව්‍යාපාර කිරීම දුෂ්කර බවත්, ව්‍යාපෘති ආපසු හැරවීම්, නියාමනය කිරීම් වෙනස්වීම, මන්දගාමී තීරණ ගැනීම සහ ස්ථාපිත ව්‍යාපාර සඳහා ප්‍රමාණවත් සහයෝගයක් නොමැතිකම පිළිබඳ කනස්සල්ල නිතර මතු වන බවට ආයෝජකයන් වාර්තා කර ඇති බව ද එහි දක්වා තිබේ.
මේ එම වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 7කි.
1. අකාර්යක්ෂමතාව
ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී අස්ථිර බවක් පෙන්නුම් කරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආයෝජන මණ්ඩලය (BOI) ප්‍රධාන ආයෝජන ප්‍රවර්ධන ආයතනය වන නමුත්, විවිධ අධිකාරීත්වයන් රජයේ විවිධ දෙපාර්තමේන්තුවලට බෙදී ගොස් ඇති නිසා සියලු කටයුතු එක් ස්ථානයකින් කර ගැනීමට හැකි ස්ථානයක් බවට ආයෝජන මණ්ඩලය පත්ව නොමැති බව ය. මේ නිසා ආයෝජකයන්හට දීර්ඝ අනුමත කර ගැනීමේ ක්‍රියාවලීන්ට මුහුණ දීමට සිදුව ඇති බව එහි දැක්වේ.
ලංකා විදුලි බල මණ්ඩලය වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රමාදය, කාර්මික වර්ධනයට සහය වීම සඳහා අවශ්‍ය දැරිය හැකි සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සංවර්ධනය කිරීම වළක්වන බව ද එහි දැක්වෙන අතර, ඒ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද මීට පෙර පෙන්වා දී තිබේ.
මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇති අතර, ඇතැම් වෘත්තීය සමිති එය පුද්ගලීකරණය කිරීමට ගන්නා උත්සහයක් ලෙස පවසමින් විරෝධතාවල නිරත වෙමින් සිටිති.
විදෙස් ආයෝජකයන්හට ඉඩම් අත්පත් කර ගැනීම සැලකිය යුතු අභියෝගයක් බව ද මෙම වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සාමාන්‍යයෙන් විදේශිකයන්ට සහ 50% ඉක්මවන විදේශීය කොටස් හිමිකාරීත්වයක් ඇති ව්‍යවසායන් සඳහා ඉඩම් විකිණීම තහනම් වේ.
2018 වසරේ ඉඩම් පනතේ සංශෝධනයක් මගින් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති විදේශීය සමාගම් සඳහා සීමිත ව්‍යතිරේක සහ උපායමාර්ගික අංශවල ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා එක් එක් අවස්ථාව අනුව යම් නිදහස් කිරීම් නිර්මාණය කර තිබේ.
2. ආයෝජන සහ බදු ගිවිසුම්
ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 26ක් සමග ආයෝජන ආරක්ෂණ ගිවිසුම් අත්සන් කර ඇති බව එහි සඳහන් වේ.
2014 දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා 2017 දී නතර වූයේ ගිවිසුමේ විෂය පථය සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන කාල රාමු පිළිබඳව දෙරටට එකඟ විය නොහැකි වූ නිසා බව එහි දැක්වේ.
3. නීතිය
ශ්‍රී ලංකාවේ නියාමන කටයුතු, යල් පැන ගිය නීති සහ අධික නිලධාරිවාදී පාලනය, ආයෝජකයින් සඳහා අවිනිශ්චිතතාවක් ඇති කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වේ.
එමෙන් ම කම්කරු නීතිවල ස්වභාවය, සංකීර්ණ බදුකරණය, ව්‍යාපාරවලට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට අපහසු කරන බව ඔවුහු පවසති.
යල් පැන ගිය නීති සහ අධිකරණ කටයුතුවලට දීර්ඝ කාලයක් ගත වීම අසාර්ථක ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට බාධා කරන බවත් විදේශ ආයෝජන අධෛර්යවත් කරන බවත් එහි දැක්වේ.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති සේවකයින් සඳහා ශක්තිමත් ආරක්ෂාවක් ලබා දෙන නමුත් ආයෝජකයින් හට ඒවා දැඩි නීති බව ද වාර්තාවේ දක්වා තිබේ.
4. කර්මාන්ත ප්‍රතිපත්ති
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය නිර්මාණය කරන ලද නමුත් ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා එහි නීතිමය රාමුව සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ තීරු බදු රහිතව ක්‍රියාත්මක වන අපනයන සැකසුම් කලාප 18ක් ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, පුනර්ජනනීය බලශක්තිය වැනි සමහර අංශවල විදේශීය සහ දේශීය ආයෝජකයින්ට අසමාන සැලකීම් පවතින බව වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ශ්‍රී ලංකාවේ තීරණාත්මක අභියෝගයක් බව ද වාර්තාවේ දැක්වේ.
සංචාරක, ඇඟලුම්, තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු යන ප්‍රධාන අංශවල ශ්‍රමිකයන් සැලකිය යුතු ලෙස සංක්‍රමණය වීම නිසා එම ක්ෂේත්‍රවල පුහුණු ශ්‍රමිකයන්ගේ සැලකිය යුතු හිඟයක් ඇති කර ඇති බව එහි දැක්වේ.
5. දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
ශ්‍රී ලංකාවේ දේපළ ලියාපදිංචි කිරීම දීර්ඝ ක්‍රියාවලියක් බවත්, බොහෝවිට ඒවායේ වංචාවන් සිදුවන බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 39ක් තුළ පියවර අටක් පමණ සම්පූර්ණ කිරීමට අවශ්‍ය බවත් වාර්තාවේ සඳහන් කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විධිමත් ලෙස දේපළ හිමිකාරිත්වය සහ ආරක්ෂක අයිතිවාසිකම් ආරක්ෂා කරන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ඇති විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ආයෝජකයන් කනස්සල්ලට පත්ව සිටින බව ය.
තව ද, ප්‍රකාශන හිමිකම් සහ වෙළෙඳ ලකුණු නීතිය යටතේ ආරක්ෂා කර ඇති නමුත්, සීමිත සම්පත් සහ දුර්වල ආයතනික සම්බන්ධීකරණය හේතුවෙන් බලාත්මක කිරීමේ දුර්වලතා පවතින බව ද එහි සඳහන් ය.
6. මූල්‍ය අංශය
2024දී ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට විදේශ මුදල් ගලා ඒම් සහ ප්‍රාග්ධන බලමුළු ගැන්වීම් වැඩි වීමත් සමග සැලකිය යුතු වර්ධනයක් අත්විඳින බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රමිකයින් සංක්‍රමණය වීම සහ විධිමත් මුදල් හුවමාරු මාර්ග ප්‍රවර්ධනය කරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් විදේශ ප්‍රේෂණවලින් සැලකිය යුතු අදායමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව එහි දැක්වේ.
මේ නිසා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම විදේශ ආදායම බවට 2024 වසරේ පත්ව ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම වාර්තාවේ දක්වා තිබේ.
7. දූෂණය
රාජ්‍ය ප්‍රසම්පාදනයේ බොහෝවිට සිදුවන දූෂණය සහ දුර්වල විනිවිදභාවය හේතුවෙන් විශාල ආර්ථික පාඩු සිදුවී ඇති අතර, විශේෂයෙන් විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන අධෛර්යවත් වී ඇතැයි වාර්තාව පවසයි.
දූෂණය මුලිනුපුටා දැමීමට සහ රජයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පෙනී සිටින බවත්, නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට ඇති බවත් එහි දැක්වේ.
කෙසේ වෙතත්, ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන තුළ තවමත් දූෂණය සිදුවන බව ය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකරුවෙකි.
2022 මූල්‍ය හා දේශපාලන අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු වී ඇතත්, IMF වැඩසටහන යටතේ ඉහළ යන බදු හේතුවෙන් මහජන විරෝධය මතුව ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙන තවත් විශේෂ කරුණකි.
ජීවන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, බොහෝ කුටුම්භ සඳහා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව ද ඔවුහු පවසති.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කළ අතර, එම ආයතනයේ ඉල්ලීම අනුව මේ වන විට ඒ සම්බන්ධයෙන් කරුණු විමසා එහි සභාපතිවරයා වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමු කර තිබේ.
2025 වසරේ ශ්‍රී ලංකාවට නව විදෙස් ව්‍යාපෘති 55ක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ජනාධිපති මාධ්‍ය අංශය වෙත යවා ඇති ලිපියක ශ්‍රී ලංකාවට 2025 වසරේ හිමිව ඇති විදෙස් ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ.
එහි දැක්වෙන ආකාරයට 2025 වසර තුළ ගිවිසුම්ගත වූ නවතම ආයෝජන හරහා ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඍජු විදේශ ආයෝජන ගලා ඒම ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක් වන අතර, එම කාලය තුළ ම දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති හරහා පැමිණ ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 665.2කි.
එමෙන් ම, පළමු මාස 09 තුළ ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 55ක් සඳහා අවසර ලබා දී ඇති අතර, ව්‍යාපෘති 49ක් තවදුරටත් පුළුල් කර තිබේ.
ඒවා අතරින් වැඩි ම ව්‍යාපෘති සංඛ්‍යාවක් ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රයට හිමිව තිබේ.
එයට නව ව්‍යාපෘති 08ක් සහ තවදුරටත් පුළුල් කළ ව්‍යාපෘති 12ක් ඇතුළත් වේ.
2025 වසරේ පළමු මාස 09 තුළ අනුමත කර ඇති ව්‍යාපෘති අතරින් වැඩි ම ව්‍යපෘති සංඛ්‍යාවක් සිංගප්පූරුවෙන් ද දෙවනුව ඉන්දියාවෙන් ද හිමි ව තිබේ. එම සංඛ්‍යාව පිළිවෙළින් ව්‍යාපෘති 05ක් හා 04ක් වේ.
ඊට අමතරව චීනයෙන් ව්‍යාපෘති 3කට ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාපෘති 02කට ද, එක්සත් රාජධානියේ ව්‍යාපෘති 02කට ද අනුමැතිය හිමිව තිබේ.
ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම්වලින් 2025 ජනවාරි සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ඇ.ඩො. මිලියන 5,604ක අපනයන සිදු කර ඇති අතර ඒ අතරින් ඇ.ඩො. මිලියන 3,394ක් ඇඟලුම් අපනයනයෙන් ලබාගෙන තිබේ.
මූලාශ්‍රය – බීබීසී
