ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු ලංකාවම කතා කරන මාතෘකාවක්. භික්ෂුවක් ලෙස සිවුරු දරා සිටියත් මේ භික්ෂුව වඩාත්ම ප්‍රසිද්ධ චණ්ඩියෙකු හෝ දාමරික චරිතයක් විදිහටයි. මීට වසර කීපයකට කලින් මෙම භික්ෂුවගේ නම ෆේස්බුක්හි සඳහන් කිරීම හෝ ඡායාරූපයක් පළ කිරීම පවා දවස් කීපයකට ෆේස්බුක් තහනම් වීමට තරම් ප්‍රබල හේතුවක්ව තිබුණේ. මේ තත්ත්වයට පත් කිරීමේ වගකීමෙන් වැඩි කොටසක් පැවරෙන්නේ දේශපාලකයන් වෙත බව රහසක් නොවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව හැරුණු විට, ඥානසාර භික්ෂුවට එල්ලවන ප්‍රධාන චෝදනාව ජාතිවාදය වැපිරවීමයි. මෙයිනුත් ඉස්ලාම් භක්තිකයන්ට හා ඔවුන්ගේ විශ්වාසයන්ට අපහාස කිරීම ප්‍රධානයි. නමුත් මෙතැනදී වැදගත් කරුණක් අපිට අමතක වෙනවා. ඒ තමයි මෙම භික්ෂුව ඉස්ලාම් අන්තවාදීන්ව හා වහබ්වාදීන්ව දැඩිව විවේචනය කරපු බව.

අවාසනාවකට ඥානසාර හිමිට විචාර බුද්ධියක් හෝ සහකම්පනයක් නැහැ. ඒත් එක්කම තමන්ගේ හැසිරීමේ ශිෂ්ට රාමුවක් නැහැ. ඔහු බොහෝ වෙලාවට අපහාස කරන්නේ හා අභියෝග කරන්නේ ඉස්ලාම් අන්තවාදීන්ට පමණක් නොවෙයි. ඔහුගේ චෝදනා නිසා සාමකාමීව ඉස්ලාම් ආගම අදහන පිරිසත් අපහසුතාවයටත් හිත් රිදීමටත් පත්වෙනවා. දිගින් දිගටම මේ ක්‍රියාව සිදුවන නිසා එය අත්වැරදීමක් විදිහට දකින්න බැහැ. අපි අතර ඉන්නවා ඉස්ලාම් ආගම අදහන සාමකාමීව ජීවත්වන මිත්‍රයන්. ඔවුන්ව ආශ්‍රය කරද්දී අපි කිසිවෙකුට වැටහෙන්නේ නැහැ අපි විවිධ ආගම්වලට අයිති බව. මෙන්න මේ පිරිසත් වහබ්වාදීන් කාණ්ඩයට හිතාමතාම ගොනු කිරීමයි ඥානසාර භික්ෂුව සිදුකලේ.

ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදය හෝ වහබ්වාදය පවතිනවද ?

ලංකාව තුළ මේ ආකාරයේ ඉස්ලාම් අන්තවාදය හෝ වහබ්වාදය පවතිනවද? නිසැකවම පවතිනවා. මෙහි ඉහළම කොටස අනාවරණය වන්නේ පාස්කු ප්‍රහාරය සමඟ. එතැන සැකයක් නැහැ.

දෙවැනි ස්ථරය ගැන අපිට අදහසක් ගන්න පුළුවන් අනෝජන් සිවරාසගේ සිද්ධිය සමඟ. විනාඩි කීපයක් තුළ අනෝජන් සිදුකළ ප්‍රකාශයේ සාක්ෂි සෞදි බලධාරීන් අතර පත්කරන්නේ මෙන්න මේ දෙවන ස්ථරයේ පිරිස. තමන්ගේම රටේ තමන්ගේම සාමාජිකයෙක් වෙනත් රටකට පාවා දීලා මරණ දඬුවම ලබාදෙන්න තරම් මේ පුද්ගලයන් කෙතරම් අන්තවාදී විය යුතුද?

තුන්වන ස්ථරය අපිට දකින්න පුළුවන් සාමකාමී ලෙස දිස්වන ඉස්ලාම් ගම්මාන තුළ හා සංවෘත ඉස්ලාම් සමාජය තුළ. මේ කුඩා ගම්මාන මුඩුක්කු නෙවෙයි නමුත් ඊට වඩා විධිමත් හා පිළිගත් මට්ටමේ ජනයා ජීවත්වන ගම්මාන. (මේ කතා කරන්නේ සියලුම ගම්මාන ගැන නෙවෙයි). උදාහරණයකින් පැහැදිලි කළොත්… මේ කුඩා ගම්මානයක තරුණියක් හින්දු හෝ බෞද්ධ තරුණයෙක් සමඟ විවාහ වෙනවා කියලා හිතමු. ඒ තරුණියගේ නිවසේ සාමාජිකයන්ට ගමේ ජීවත්වන්න පුළුවන්ද? නිවෙස ඉස්සරහ කුණු ගෙනත් හලනවා. නිවසට එන මග අවහිර කරනවා. නිවසේ සාමාජිකයෙක් පාරේ යනකොට කෙළ ගහනවා. නිවසට එන නල ජලය හෝ විදුලි බලය නිතර නිතර අවහිර වෙනවා. ගමේ කිසිම පොදු වැඩකට මේ නිවස සම්බන්ධ කරගන්නේ නැහැ. කොටින්ම ඒ පිරිසට අදාළ ගමේ තවදුරටත් ජීවත්වන්න බැහැ. මීට එකම හේතුව තම පරපුරේ හෝ ගෝත්‍රයේ තරුණියක් වෙනත් ආගමක් අදහන තරුණයෙක් හා විවාහ වීම. මේ සාමූහික අන්තවාදයක් නෙවෙයිද? මේ අදහස් හෝ හැසිරීම මේ තුලට එන්නෙ කොහොමද?

වහබ්වාදය කියන්නේ මොකද්ද ?

වහබ්වාදය (Wahhabism) කියන්නේ 18වන සියවසේ මැද භාගයේ සෞදි අරාබියේ නජ්ද් ප්‍රදේශයේ ආරම්භ වන අන්තවාදී සුන්නි ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක්. මේකේ නිර්මාතෘවරයා මුහම්මද් ඉබ්න් අබ්දුල් වහාබ් (Muhammad ibn Abd al-Wahhab). මෙන්න මේ පුද්ගලයා නිසයි මේ ව්‍යාපාරය වහබ්වාදය විදිහට හඳුන්වන්නේ. මෙහි අරමුණ ප්‍රධාන වශයෙන් ඉස්ලාමය “පවිත්‍ර කිරීම”. ඒ කියන්නේ මුල් ඉස්ලාමීය ඉගැන්වීම් වෙත ආපසු යන එක. පසුකාලීනව එකතු වුණු සාමූහිකත්වයට ගරු කිරීම, මූලධර්මවාදයෙන් බැහැරවීම වැනි කාරණා මේ අය කිසිවිටක අනුමත කරන්නේ නැහැ.

මේ පිරිස දැඩි ඒකදේවවාදය හෙවත් තවුහිද් අවධාරණය කරනවා. විෂ්ණු..ශිව.. සමන් වැනි කිසි දෙවියෙකුට පවතින්න බැහැ. ඉස්ලාමීය නවෝත්පාදනයන් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ වෙනත් ශාන්තුවරයන්ව සමරන්න බැහැ, වෙනත් ශාස්තෘවරුන්ව සමරන්න බැහැ. කොටින්ම ආගමික සහජීවනයක් පවතින්න බැහැ. කොටින්ම මෙමගින් පීඩාවට පත්කරන්නේ සාමකාමී ඉස්ලාම් ජනයා. සෞදි රාජවංශය (Al Saud) සමඟ සබඳතා ඇතිකරගැනීම මේ පිරිසට ඉතාම වැදගත්. තමන්ගේ මූලධර්මවාදී නිර්වචනයට නොගැළපෙන ඉස්ලාම් භක්තිකයන්ව “අවිශ්වාසීන්” විදිහට ප්‍රසිද්ධියේම නින්දාවට පත්කරනවා. අනෙක් ආගම් හා සංස්කෘතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන පිරිස මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස ප්‍රතික්ෂේප කරනවා. මෙහි අදහස සාමකාමීව ඉස්ලාම් ආගම අදහන පිරිස වහබ්වාදයේ වින්දිතයන් බවට පත්වෙනවා.

ශ්‍රී ලංකාවේදී වහබ්වාදය හඳුන්වන්නේ “තවුහිද්” (Tawhid) විදිහට. මේ මූලධර්මවලට කොටුවන පිරිස තම සාමාජික පිරිස හඳුන්වන්න “සලාෆිවාදය” (Salafism) කියන නමත් යොදාගන්නවා. නමුත් ඇත්ත තත්ත්වය.. මේ පිරිස අල්කයිඩා හා අයිසිස් වැනි ත්‍රස්තවාදී සංවිධාන සමඟ සබඳතා පවත්වන මූලධර්මවාදීන් වීමයි.

ශ්‍රී ලංකාව.. ඉන්දියාව.. නේපාලය.. බංග්ලාදේශය වැනි රටවල අන්තවාදය පැතිරෙන්නේ කොහොමද ?

ඒ සඳහා පුහුණු කරපු පූජකයන් හෝ ඉමාම්වරු මේ රටවලට එන්නේ 90 දශකයේ මුල් කාලයේදී. 1980 අග භාගයේදී මෙන්ම 1990 දශකයේ මුල් භාගයේ කයිරෝවේ අල්-අස්හාර් විශ්වවිද්‍යාලයේ ආසියානු සිසුන් විශාල සංඛ්‍යාවක් ඉස්ලාමීය නීතිය (fiqh) හදාරනවා. 2016 ආසියානු පුවත් ඒජන්සියේ (AsiaNews) වාර්තාවක් පෙන්වා දෙනවා මේ අයට ශිෂ්‍යත්ව ලෙස සෞදි අරාබියේ මූල්‍යාධාර සපයා ඇති බවට. මේ සිසුන්ගෙන් බහුතරය අධ්‍යාපනය අවසන් කරලා විවිධ රටවලට පිටත්වන්නේ වහබ්වාදීන් විදිහට. මෙන්න මේ අය තමයි අනූව දශකයේ මැද ලංකාවට වගේම මැලේසියාවටත් අනෙකුත් දකුණු ආසියානු රටවලටත් ළඟාවන්නේ. මේ ගැන බුද්ධි අංශ වාර්තා කරනවා. නමුත් ඒ වෙද්දී ලංකාවේ එල්ටීටීඊ යුද්ධය බොහොම දරුණුයි. ඒ නිසා පහසුවෙන්ම මේ පිරිස් දේවස්ථාන අවට ස්ථානගත වෙනවා. ප්‍රතිඵලය තමයි සහරාන් වැනි චරිත නිෂ්පාදනය වීම.

අපි අද වහබ්වාදය හෝ ඉස්ලාම් අන්තවාදය ගැන කතා කළොත් ඊට ඇහුම්කන් දෙන්න වැඩි දෙනෙක් සූදානම් නැහැ. මෙන්න මේ හානිය හෝ විනාශය තමයි ඥානසාර භික්ෂුව ඇතුළු පිරිස සිදුකරේ. මේ තමයි අද ලංකාවේ ඇතිවෙලා තියෙන ඛේදවාචකය.

දේශගුණ විපර්යාස ගැන කතා කරන්නේ එය ජීවිකාව කරගෙන විදේශ සංචාර බලාපොරොත්තුවෙන පිරිසක්. ලෝක සාමය ගැන.. කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නේ එයින් මුදලක් උපයාගන්න අවශ්‍ය පිරිසක්. ආගම් අන්තවාදය ගැන කතා කරන්නේ දේශපාලන වාසි හා බලය ලබාගන්න උවමනා පිරිසක්. එයින් සිදුවන්නේ මොකද්ද? මේ මාතෘකා ගැන ජනතාව තුළ ඇති විශ්වාසයත් උනන්දුවත් අඩුවෙනවා. අද ඉස්ලාම් අන්තවාදය ගැන කතා කළොත්… මෙන්න ජාතිවාදී ගැටුම් අවුලනවා කියන චෝදනාව නිසැකවම එල්ලවෙනවා. වහබ්වාදය ගැන කතා කළොත්.. මෙන්න ඥානසාරගේ ගෝලයෙක් කියන චෝදනාව එල්ලවෙනවා. එවිට ඒ ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. නමුත් සැබෑ ගැටළුව සැබැවින්ම පවතිනවා විතරක් නොවෙයි එය උඩු දුවනවා.

මෙන්න මේ නිසා ඥානසාර භික්ෂුව ඇතුළු පිරිස ඉටුකරන්නේ හෝ ඉටුකරමින් ඉන්නේ වෙනත් කණ්ඩායමක අවශ්‍යතාවයක්ද කියන ගැටළුව පැන නගිනවා නිසැකවම.
එයින් කිසි විටක ඔහුගේ පෞද්ගලික වගවීම බැහැර කෙරෙන්නෙ නැහැ.

මේ ලිපියෙන් කිසිවිටෙක අදහස් වන්නේ නැහැ ඥානසාර භික්ෂුව නිවැරදි බව හෝ ඔහුට නිදහස හිමිවිය යුතු බව. මෙල්බර්න් නුවර ළමා අපචාර චෝදනා මත සිරගත වූ නා ඔටුන්නේ විජිත.. ලන්ඩන් නුවරදී ළමා අපචාර සිද්ධියක් මත සිරගතවූ පහළගම සෝමරතන.. ළමා අපචාර චෝදනා ලබා සිටින පල්ලේගම හේමරතන වැනි භික්ෂූන් නිසා සමස්ත භික්ෂු පරපුරම අගෞරවයට පත්වෙනවා. නමුත් ගෞතම සිද්ධාර්ථ දෙසූ දහම මෙවැනි පහත් ගණයේ ජීවරධාරීන් නිසා කිසිවිටෙක අපවාදයට ලක්වන්නේ නැහැ. වසර දාස් ගාණක් පැවතුණු ඒ ඉගැන්වීම් තවත් කාලයක් පවතීවි නිසැකවම.

අපි අමතක නොකළ යුතු කාරණය තමයි මේ සියල්ලත් සමඟ ආගමික අන්තවාදය ඔඩු දුවමින් පවතින බව. ඒ ගැන කතා කිරීම හෝ සංවාද කිරීම ජාතිවාදය ඇවිස්සීමක් නොවන බව අවසානයේ ලියා තබමි.

~ Malcolm Sang

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘බස් ලලිත්’ගේ යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයා ගැනේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: "බස් ලලිත්" යන අන්වර්ථ...

රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු...