රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW :
රියාද් ගුවන් තොටුපළට බලපෑ ආරක්ෂක සිදුවීමක් හේතුවෙන්, ශ්‍රීලන්කන් ගුවන් සමාගම සෞදි අරාබියේ රියාද් වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.
අඛණ්ඩව සිදු කෙරෙන ආරක්ෂක සහ මෙහෙයුම්මය ඇගයීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම ගුවන් සමාගම අද(10) නිකුත් කළ නිවේදනයක සඳහන් කළේය.
මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තම ප්‍රමුඛතම වගකීම බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම අවධාරණය කරයි.
වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා තත්ත්වයන් යෝග්‍ය බව තහවුරු වූ පසු නැවත සේවාවන් ආරම්භ කරන බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුර තොරතුරු සඳහා මගීන්ට ශ්‍රී ලංකාව තුළ නම් 1979 යන අංකය ඔස්සේ ද, විදේශයන්හි සිට නම් +94 11 777 1979 යන අංකය ඔස්සේ ද, නැතහොත් +94 74 444 1979 යන අංකය ඔස්සේ WhatsApp (පණිවිඩ හුවමාරුව සඳහා පමණි) හරහා ද ශ්‍රීලන්කන් ගුවන් සමාගම හා සම්බන්ධ විය හැකිය. එසේම www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ද තොරතුරු ලබා ගත හැකිය.


