පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ජාතික සැමරුම් උත්සවය “එකම තැපැල් ජාලයක්, අනන්ත වූ හැකියාවක්”යන්න තේමා පාඨය කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයන් ඊයේ (09) අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී 152 වන ලෝක තැපැල් දින සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන ලෝක තැපැල් දින සමරු මුද්දරය සහ මුල්දින කවරය නිකුත් කිරීම ද සිදු විය.

එමෙන්ම තැපැල් සේවාවේ ආදායම් ප්‍රවර්ධනය සඳහා දායක වූ තැපැල් කාර්යාල ඇගයීම, තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කරන පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල වල සේවා කාර්ය සාධනය වෙනුවෙන් ඇගයීම් තිළිණ ප්‍රදානය, තැපැල් සේවා කටයුතු සඳහා ප්‍රවර්ධනය සඳහා දායක වූ කාර්ය මණ්ඩලය ඇගයීම, කාර්යක්ෂම කාර්යාල ඇගයීම, ලෝක තැපැල් දිනය වෙනුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වන ලද විවිධ තරඟවලට අදාළ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ඇතුළු තැපැල් සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ තැපැල් සේවකයින් සහ කාර්යාල රැසක් ද මෙහිදී විශේෂ ඇගයීමට ද ලක් විය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මෙරට තැපැල් සේවාව මෙතෙක් ආ ගමන් මගේ අත්කර ගත් ජයග්‍රණ සඳහා ඇපකැපවූ සියළු කාර්ය මණ්ඩලවලට සිය ස්තූතිය පුද කළ අතර, පසුගිය කාල පරිච්ඡේදය තුළ ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බවත්, තව ජයග්‍රහණ රැසක් ඉදිරියේ දී ලබාගත යුතුව ඇති බව ද පැවසීය.

රජය පසුගිය වසර 02 තුළ ශ්‍රී ලංකා තැපෑල නගාසිටුවීම වෙනුවෙන් තැපෑලට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබාදීමටත්, මානව සහ භෞතික සම්පත් සංවර්ධනය, නවීන තාක්ෂණය සහ නවීකරණය සඳහා පියවර ගත් බව ද පැවැසූ අමාත්‍යවරයා මීලඟට තැපැල් සේවාවේ කාර්යභාරය වන්නේ ලබාදී ඇති ඉදිරි ඉළක්කයන් නිසි පරිදි සම්පූර්ණ කිරීම බව ද පැවැසීය.

තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල පිහිටා තිබෙන ස්ථානය නොසලකා විශාල ඉළක්ක සපුරාලමින් ජයග්‍රහණ අත් කරගෙන ඇති බව අද සනාථ වූ බවත්, එම තත්ත්වය ඉලක්ක වලට යෑමට ඇති හැකියාව පෙන්නුම් කිරීමේ සළකුණක් බවද අමාත්‍යවරයා පැවසීය.

ඉදිරි වසර 02 ක් වැනි කාලයක් තුළ ලබාදී ඇති ඉළක්ක සපුරාලීමට කටයුතු කරමින් ආදායම් ඉලක්ක ජය ගැනීමට කටයුතු කළ යුතු බවද පැවසූ අමාත්‍යවරයා මෙවර රුපියල් මිලියන 15,000 ක ඉළක්කය සපුරා ගැනීමට හැකි බව ද පැවැසීය. තැපැල් සේවාවේ ඉදිරියටත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජයේ කටයුතු කරන බවත් ඊට අවශ්‍ය නායකත්වය ලබාදෙන බවත් ඉදිරි ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් මීලඟ 153 වන තැපැල් දිනය මීටත් වඩා ජයග්‍රහණ සහිතව සැමරීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ රජයේ ආයතන පාඩු ලබන බවට වන සාම්ප්‍රදායික මතය බිඳ හෙලමින්, 2025 වසරේදී මහා භාණ්ඩාගාර ආදායම් ඉලක්කය ඉක්මවා යමින් රුපියල් මිලියන 13,456ක ආදායමක් වාර්තා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකි වු අතර, 2023 වසරේ රුපියල් බිලියන 13.6ක් සහ 2024 වසරේ රුපියල් බිලියන 14.1ක් වූ තැපෑලේ ආදායම අද රුපියල් බිලියන 15ක දැවැන්ත ඉලක්කයක් කරා ගමන් කරමින් තිබේ.

තැපැල් සේවාවේ වාණිජ්‍යයේ පිබිදීම සමඟ 2020 දී රුපියල් 80,695ක් පමණක් වූ COD (Cash on Delivery) ආදායම, 2025 වන විට රුපියල් මිලියන 687 දක්වා අතිවිශාල වර්ධනයක් අත්කරගෙන ඇත. Speed Post සේවාව, 2023 දී වාර්තා කළ රුපියල් මිලියන 391ක ආදායම 2025 දී රුපියල් මිලියන 733 දක්වා දෙගුණයකින් පමණ වැඩි කරගෙන ඇත. ජාත්‍යන්තර EMS සේවාව 2025 දී රුපියල් මිලියන 807ක ආදායමක් උපයමින් තැපෑලේ ගෝලීය සබඳතා ද ශක්තිමත් කර ඇත.

මෙරට තැපැල් ෙයටිතල පහසුකම් සංවර්ධනය සිදු කරමින් 2025 වසරේ රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන යටතේ ඇරඹූ ගොඩනැගිලි ව්‍යාපෘති 17න් 13ක් මේ වන විට අවසන් කර ඇත. 2026 වසර වෙනුවෙන් නව ව්‍යාපෘති සඳහා තවත් රුපියල් මිලියන 400ක් සහ ගොඩනැගිලි 94ක් අලුත්වැඩියාවට රුපියල් මිලියන 600ක් ද වෙන් කර තිබේ.

කොළඹ තදබදයට හසු නොවී තැපැල් බෙදාහැරීමට නව මාර්ග 9ක් සමඟින් ලොරි රථ 10ක් සහ ක්‍ෂණික කැදවුම් රථ 20ක් එක් කර ඇති අතර, ඩිජිටල් හා මෙහෙයුම් නවීකරණය යටතේ පරිගණක 225ක් සහ ටැබ් යන්ත්‍ර 1,500ක් ද ජාලගත කර ඇත. ආරක්ෂාවට මධ්‍යම තැපැල් හුවමාරුවේ රුපියල් මිලියන 26.9ක් වැය කර CCTV කැමරා 209ක් සවිකර ඇති අතර, බලශක්ති පිරිවැය අවම කිරීමට රුපියල් මිලියන 24ක සූර්ය පැනල පද්ධති ස්ථාපිත කර ඇත. තැපෑලේ ඉදිරි ගමන පරිසර හිතකාමී එකක් වන අතර විද්‍යුත් යතුරුපැදි 165ක් සහ විද්‍යුත් ත්‍රිරෝද රථ 50ත් 60ත් අතර ප්‍රමාණයක් සේවයට එක් කිරීමට මේ වන විටත් ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී.

වසර 2020න් පසු ප්‍රථම වරට 2025 සහ 2026 වසරවලදී උප තැපැල් ස්ථානාධිපතිවරුන් 521 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීමටත්, එමෙන්ම තරඟ විභාග මඟින් තැපැල් සේවා නිලධාරීන් 459ක්, විධායක නිලධාරීන් 21ක්, රියදුරන් 40ක් සහ තැපැල් සහායකයන් 732ක් බඳවා ගැනීමට ද කටයුතු කරමින් තැපෑලේ මානව සම්පත ශක්තිමත් කිරීමට ද රජය කටයුතු කර ඇත.

මෙම ජාතික සැමරුම් උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (පාලන) – ජනමාධ්‍ය දීපා ලියනගේ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත්, අධ්‍යක්ෂ (මුද්දර කාර්යාංශය) එල්.එන්.ජේ.ද සිල්වා යන මහත්ම මහත්මීන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු, නියෝජ්‍ය තැපැල්පතිවරුන්, සියලු ශ්‍රේණි නියෝජනය කරමින් තැපැල් වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

නල්ලූරුව හෝටලයක නීතිවිරෝධී පරිගණක ජාල වැටලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: පානදුර දකුණ පොලිස් වසමේ...

Real Madrid කණ්ඩායමේ 3-0 ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා (La Liga)...

ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් – 20කට අධික පිරිසකට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ජපානයේ මධ්‍යම ප්‍රදේශයට...