රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :
ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද “Smart Productivity For Pre School” පෙරපාසල් ඵලදායිතා සංවර්ධන මාර්ගගත පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අධ්‍යාපනික ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා පෙරපාසල්වල දායකත්වය ඉහළ නැංවීම, ඵලදායිතා සංකල්ප පෙරපාසල් සඳහා නිවැරදිව යොදාගැනීම, සහ පෙරපාසල් ගුරුවරුන්ගේ පෞද්ගලික මෙන්ම පන්තිකාමර ඵලදායිතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණු විය.
සිංහල මාධ්‍යයෙන් දින 10ක් පුරා මාර්ගගතව පවත්වන ලද මෙම පුහුණු පාඨමාලාවට ගුණාත්මක ඉගැන්වීම් ක්‍රමවේද, පන්තිකාමර කාර්යක්ෂමතාව, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය, සම්පත් කළමනාකරණය, ආතති කළමනාකරණය, ගුරුවරයාගේ යහපැවැත්ම, සන්නිවේදනය සහ දෙමාපිය සහභාගීත්වය යන කාලීන විෂය කරුණු රැසක් ඇතුළත් කර තිබුණි. පාඨමාලාවෙන් ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් තම ආයතනය තුළ ඵලදායිතාව ඉහළ නැංවීමට ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා 285 අතුරින් 60%කට වඩා ලකුණු ලබාගත් සාර්ථක පාඨමාලාභීන් 234 දෙනෙකු වෙත මෙහිදී සහතිකපත්‍ර ප්‍රදානය සිදු කරන ලදී.
එහිදී සභාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ පෙරපාසල් ගුරු වෘත්තිය යනු හුදෙක් වේතනයකට සීමා කළ නොහැකි, මිල කළ නොහැකි අමිල ජාතික වගකීමක් බවයි. වයස අවුරුදු 3ත් 5ත් අතර කාලසීමාව දරුවෙකුගේ මොළයේ සහ භෞතික වර්ධනය වේගවත්ම සිදුවන වයස් සීමාව වන බැවින්, දරුවාගේ අනාගතය තීරණය වන ප්‍රධානතම සාධකය පෙරපාසල් ගුරුවරයා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම හුදෙක් ඡන්දයකින් හෝ ආණ්ඩුවක් වෙනස් කිරීමෙන් පමණක් රටක් හැදිය නොහැකි බවත්, අලුත් රටක් නිර්මාණය කිරීමට නම් ආකල්පමය වෙනසක් සහිත දියුණු මානවයෙකු බිහි කළ යුතු බවත් සඳහන් කළ හෙතෙම, ඒ සඳහා වන ප්‍රධානතම ජාතික පදනම වැටෙන්නේ පෙරපාසල් අධ්‍යාපනය තුළින් බව අවධාරණය කළේය.
පෙරපාසල යනු තරඟකාරී ලෙස අකුරු සහ ගණන් පාඩම් කරවන ස්ථානයක් නොව, විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවාට ස්වාභාවිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන ස්ථානයක් විය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඵලදායිතා සංකල්ප ගුරුවරයාගේ ජීවිතයට එකතු කරගත් විට එය අනිච්චානුගතිකව දරුවා වෙත ද සම්ප්‍රේෂණය වන බවත්, රාජ්‍ය හා පෞද්ගලික භේදයකින් තොරව මුළු පෙරපාසල් පද්ධතියම උසස් ප්‍රමිතියකට (High Standard) ගෙන ඒම රජයේ සහ අග්‍රාමාත්‍යවරියගේ සංකල්පය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම 2027 වසරේ ආරම්භ වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ ද දියුණු මානවයෙකු නිර්මාණය කිරීම බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.


