ජනපතිවරණය ගැන රනිල්ගේ තුරුම්බු….???
පොහොට්ටුවේ අයවැය වෙට්ටුව….??
හරීන් හා මනුෂගේ ඉරණම….??
දිලිත් ගේ සම්ප්‍රාප්තිය ගැන කසුකුසු….??
අලි මදිවට හරක්….යුක්රේන් මදිවට ඊශ්‍රායල් යුද්ධයේ ආදීනව…!!
IMF ලැබුණත් නොලැබුණත් විකල්ප තිබේද…..??
රවි ගෙ තනතුරු කණ ළඟින් යාම…..??
රනිල් දේශපාලනය කරන්නේ ඇමෙරිකාවේ යයි කියමනක් තිබිණ. එය ජනපති වූ විට වඩා මූර්තිමත් වූයේ ඇමෙරිකාව වෙනුවට ලෝකය ආදේශ වීමෙනි. ඔහු රටවල් දුසිමකට විතර ගියේය. ගිය සතියේ ඇමෙරිකාවේ හා ජර්මනියේය. ලබන සතියේ චීනයේය. මේවා විනෝද චාරිකා නම් පලු ඇරිය යුතුමය.
මේ සංචාරවල වගකීම දන්නේ යන එකාම පමණය. රනිල් ලෝකයට යනවා පමණක් නොව ලෝකය ලංකාවට ගෙන ඒමට ද ක්‍රියා කරයි. ලෝක නායකයන් හා ප්‍රබලම ඇමතිවරු ලංකාවට පැමිණියේ ඒ තුළය.
මෙම සතියේද ඉන්දීය, අප්‍රිකානු, ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිවරු 28 ක් ආවේ ඉන්දියානු සාගර සමුළුවට (IORA) ය. ඒ හා බැඳුනු “ගාලු කතිකාව” ලෝක වේදිකාව හරහා ඔහු ලෝකය ඇමතුවේ ආසියානු අයිතීන් හා හැකියාව ගැන ද මතවාද මතුකරමිනි. IMF දෙවැනි වාරිකය හිරවෙලාය.චීන ණය ප්‍රතිව්‍යුහගත වීම පමාවීම හේතුවය.
ඔවුන්ට කුද ගහගන්නැයි කියා ඉන්දියාව හා ජපානය මෙරට ණය වෙනුවෙන් සාධාරණයක් කිරීමට සූදානම්වීම චීනයට ද අතුල් පහරකි.
“මිනිසුන්ට තව බර දාන්න බෑ” රනිල් IMF එකට කීවේ එහෙමය.
“අපේ ආදායම් ඉහළදාන හැටි ගැන යෝජනා දුන්නා. දැන් එයාලට දෙවන වාරිකය හිර කරන්න බෑ” සියඹලාපිටිය කීවේය.
“IMF එකට ටීම් එකක් වොෂින්ටන් යවමු. මහින්ද සමරසිංහත් IMF එක්ක සූක්ෂම ගනුදෙනුවක ඉන්නේ” ජනපති කීය.
ඒ අතරේ ඇමෙරිකාවෙන් විකල්පයකට පසුබිම සැකසීමට තානාපති මහින්ද උත්සාහ කරන බව එළිවිණ. ඊශ්‍රායල් පලස්තීන ගැටුම ගැන ජනපතිගේ මතය දැනගැනීමට ක්‍රියාකළේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් දිනිත් ය.
“මේ යුද්ධය කොහෙන් කෙලවර වෙිදැයි කියන්න බෑ. ඉන්ධන ගෑස් මිල වැඩිවේවි. අමාරුවෙ වැටෙන්නෙ අපි වගේ රටවල්. යුක්රෙන් යුද්ධය රුසියාව සතියෙන් ඉවර කරාවි හිතුවට අවුරුදු 02 ටත් ලගයි. ලෝක ආර්ථිකය තව හිරවේවි” ජනපති කීය. යුද්ධයට මැදිවූ ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන ජනපති විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
“රැකියා වලට ගිය ආපහු එන්න කැමති අයට පහසුකම් සලසන වැඩ පිළිවෙළක් හැදුවා” මනූෂ කීය.
“අපට පාළනය කල නොහැකි දේවල් ගැන රටට පැහැදිලි කරමු” ජනපති ලේකම් සමන් ඒකනායක යෝජනා කළේය.
“කැබිනට් එකට කරන ප්‍රකාශය රටට යවන්න” දිනිත් ට කොන්තරත්තුව පැවරිණ.
ගාල්ල මාතර ඇතුළු ප්‍රදේශ රැසක මහවැසි හේතුවෙන් ඇතිවූ ගැටලු ගැන ජනපති දැඩි අවධානය දැක්වූ අතර ඒ සඳහා සමන් ඒකනායකට වගකීම් පැවරිණ.
“පළාතෙ මන්ත්‍රීලා හවුල් කරගන්න. දේශපාලන බෙදීම් නැතුව සහන දෙන්න” ජනපති කීය.
“ජනාධිපතිවරණය පවත්වන්නෙ නෑ කියල විපක්ෂය මරහඬ දෙනවා”යටිනුවර මහේෂ් සේනානායක කීය.
“මම හෝ ආණ්ඩුවේ කවුද එහෙම කියල තියෙන්නෙ. රටට මේ ක්‍රමය තිත්තයි” කපටි නරියාට කටට ආවේ එවැන්නකි.
රනිල් හෝ වෙනත් සමීපතමයෙකු නොකීව ද ජනපතිවරණය කල් දමන බවට මතයක් පොළොවේ පැළ කිරීම කවුරුන් කල ද එය පොහොර ජලය නැතිවම සැපට වැවෙන මතවාදයකි. විපක්ෂය ඉන් කරකවා අතහැර තිබෙන බවද පෙනේ. පසුගියදා මඩකලපු ගිය රනිල්ගේ අඩි 60 ක් උස මහා කටවුට් එක දැක ඔහුට යකා නැග්ගේය. “මොනවද මේ විකාර. කී ලක්ෂයක් නාස්තිද” “කටවුට් හා සටන්පාඨ දේශපාලනය කරලා ආර්ථිකයත් කට් වුණා” ඔහු වනලා ගැහුවේ ඔින එකෙකුට වදින්නටය.
“දිලිත් අනුන්ට ජනාධිපතිකම් අරන් දීපු එකේ මේපාර එයාම එනවාලු” මාධ්‍යකරුවෙකු කීය.
“හැම පුරවැසියෙකුටම ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවෙන් අයිතිය තියෙනවා” යයි කී රනිල් ඉවත බලාගත්තේය. “අපේ මන්ත්රීකම් නැතිවෙනකං සමහරු ඉන්නෙ” මනුෂ හා හරීන් කීවේ ජනපතිටය.
“නසීර්ගෙ තීන්දුව කියවන්න. පක්ෂයේ චෝදනා වලට එයා උත්තර දීල නෑ” නරි කබාය ගලවා නීති ලෝගුව දාගත් රනිල් කීවේය.
එජාප සාකච්ඡාවකදී රවී ට මහලේකම් හෝ නියෝජ්‍ය නායකකම දෙන්නට කතාබහ වුවද පසුව එය යටපත් වී තිබේ. ජනතාව පිට බර පැටවීමේ IMF තියරිය පසෙක ලා හොරු පසුපස පැන්නීම ආණ්ඩුවේ අලුත්ම උපායවී තිබේ. අරක්කු ස්ටිකර් මාෆියාව ට අතගසා ඇති අතර ඉන් පමණක් ආණ්ඩුවට කෝටි 8000 ක් උපයාගත හැකිය. අයවැය පෙන්වා ඇමතිකම් දැල එළීමේ පොහොට්ටු වෙට්ටුවක් ගැන ද රනිල් ට ඉඟි ලැබෙමින් තිබේ.
අශෝක ජයතුංග
ඇමරිකාවේ වොෂිංටන් නුවර සිට
