තාරකා නගරවල ප්‍රේමය
තාරකා නගරවල
ප්‍රේමය බරපතල වරදකි
එක ළඟ තරු දෙකක්
ප්‍රේම කර අහු උනොත්
තාරකා නගරයෙන්
එවෙලේ ම පිටුවහල් කරති
පිටුවහල් කරන තරු
රෑ මැද කඳුවලට කඩාගෙන වැටෙති
කඳු මැද නැවතී
ප්‍රිය විප්පයෝගයෙන් හඬති
මහ රෑ මැද්දෙත් ළසෝ ගින්නෙන් දැවෙන තරු
අහස දිහා බලාගෙන තැවෙති
අහසට දෙස් දෙවොල් තබා අවසන
කඳු මුදුනෙන් බිමට පැන අතුරුදන් වෙති
තම තමං කළ වරදට අහසෙහි ඉතිරි තරු
දුකෙන් ලැජ්ජාවෙන් මුහුණ සඟවති
ඕනෑකමෙන් අහස දිහා බැලුවොත්
හැම තරුවෙ ම ඇස්වල කඳුළු බින්දුවක් ඇති
-පිටුව 16
‘සංතෝෂ විල’ පොතේ මගේ ප්‍රියතම කවිය මෙන්න මේක. එක ළඟ තරු දෙකක් ප්‍රේම කරලා අහු වුණොත් තාරකා නගරෙන් එවෙලෙම පිටුවහල් කරනවා කිව්වම මම නොදන්න ශෝකයක් දුවගෙන ඇවිල්ලා මාව වහගත්තා. එතකොට එක ළඟ තරු දෙකක් ස්ථානගත වෙලා තියෙන්නෙ හරි එහෙම තියෙනවා කියලා පේන්නෙ ඇයි කියලා මං පොඩි කල්පනාවකට වැටුණා. එහෙම කල්පනාවෙ ඉන්නකොටයි මේ තරු රෑ මැද කඳු මුදුන්වලට කඩං වැටෙනවයි කියන ආරංචිය ලැබුණේ. දැන් මේ කාල්පනික ප්‍රශ්නෙ කවියා අපිට දීලා එයාගෙ වැඩක් බලාගෙන ඉන්නවා වගේ එකක්නෙ වෙලා තියෙන්නෙ. ඉතිං එහෙම තමයි සමහර කවි සහ කවිවලින් කරන බලපෑම. ඔයා ඒක කියෙව්වට පස්සෙ ආපහු හැරෙන්න බෑ. ඔයාගෙ ගමන පටන් අරන් ඉවර වුණාට පස්සෙ ඒක නවත්තලා වෙන ගමන් යන්න බෑ.
අනික ශෂීන් මෙතනදි ලස්සන වැඩක් කරනවා. එයා කවියට ඔහේ ඉන්න දෙනවා. හරියට නිකං කියන්නම තිබුණ වචන ගාණක් කාටහරි ටක්කෙටම කියලා ඉවර කරලා ඒක හිතින් අමතක කරලා හැසිරෙනවා වගේ එකක් මෙතන වෙන්නෙ. එහෙම කවිය සහ කවියාට එකිනෙකාගෙන් ගැලවිලා අහස් කූරක් වගේ අහසට නොපෙනි යන්න පුළුවන් වෙන අවස්ථා ටිකක් අඩුයි. මොකද කවියා සහ කවිය ගොඩක් වෙලාවට එකිනෙකා අතර මොකක්දෝ සම්බන්ධයක් හදාගෙන එකට ජීවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට අපිට ඒ කවි අපේ ඇතුළකට රිංගවලා තැන්පත් කරලා තියාගන්න බැරිකමක් එනවා. මොකද අපි දන්නවා ඒක අපිට අත්පත් කරගන්න බැරි විදිහෙ විලංගුවක වැටිලා කියලා. එහෙම නොවන නිසා මං මේ කවියට කැමති වෙනවා.
ඊළඟට එන්නෙ 14• වැරදුණේ එතනයි. ඒක පටන් ගන්නෙ මෙහෙමයි.
නඟුලට ගෙවයි – කෙවිටට ගෙවයි
අම්බරුවාට ගෙවයි – අඬහැරේට ගෙවයි
තණකොළ මිටක් නම් ඉඳහිට විසිකරයි
ගොනුවට නොගෙවයි
…………………….
පන්සලට ගෙවයි – නිළමෙට ගෙවයි
දේවාලෙට ගෙවයි – පළතුරු වෙලෙන්දන්ට ගෙවයි
දෙවියන්ට නොගෙවයි
කපුවන්ට වැරදුණේ එතනයි
කවියෙ කූටප්‍රාප්තිය එන්නෙ මෙහෙමයි,
…………………..
බිසෝ කොටුවට ගෙවයි – බිසවට නොගෙවයි.
රජුන්ට වැරදුණේ එතනයි
-පිටුව 19
මේවා ශෂීන්ට විතරක් ලියන්න පුළුවන් වර්ගයේ කවිද මන්දා. දෙවියොන්ටත් වංචා කරන, දෙවියන්ටත් උඩින් ඉන්න මිනිස්සු හැම හන්දියකදීම අපිට මුණ ගැහෙනවා. මේ වංචනික සමාජෙ අපි වපුරමින් ඉන්නෙ මොනවද කියලා ඔන්න දැන් අහුවෙනවා. කිසිම දේකට බයක් නැති, ඕනෑම නරකක් හිනාවෙලා කරන්න පුළුවන් ටැලන්ට් එකක් තියෙන මිනිස්සු සිය දෙනෙකුගෙ වගේ මූණු මේ කවිය යටින් ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්.
රජ්ජුරුවොත් බිසවට ගෙවන්නැති නම් ඉතිං ඇත්තට තව මොන කතාද කියලා කියන්න පුළුවන්. සම්පූර්ණ කවියත් එක්ක අපි ඉස්සරහට ඇවිදිගෙන යනකොට මුලින් කවිය ඉස්සරහිනුත් අපි පස්සෙනුත් යනවා. නමුත් පොඩි දුරක් ගියාම අපිට සම ගමන් යන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම සුළුතරයකට කවියට ඉස්සරහින් ඇවිදන් යන්නත් චාන්ස් එකක් හම්බවෙනවා. මෙන්න මේ විවිධ අවස්ථා එක කවියක් ඇතුළෙන් මතුකර ගන්නෙකට මම ආසයි. ඒක මගේ කල්පනා ලෝකය දිග කරනවා. ඒවාට ඉතිං මං ආසා වෙනවා.
06 පිටුවට පැන්නොත් කවියක කෑල්ලක කියවන්න මං ඉඩක් හදලා දෙනවා. කවියෙ මාතෘකාව නොකියවා ඒ කවි කොටස අල්ලගන්න බෑ. මාතෘකාව, ‘බිඳුණ බඳුන් පිරි නුවර’
………………………
වෙහෙසකර දවසක් අවසන
රා කළයක් අසලින් ඒ බඳුන ඇලවෙයි……
ඔන්න ඔහොම යනකොට 39 පිටුවෙ තියෙන කවිය කියන්නෙ ‘බිම්මලක් දැක්කොතින් දුවන්න’ කියලා. යස වැඩක්නෙ අනේ ඉතිං!! එහෙම කෙනෙක් කිව්වට දුවන්න පුළුවන්යෑ!! කවිය කියෙව්වම දුවන්න පුළුවන් වෙනවා.
……………………….
‘නිතර බිම්මල් පිපෙන මිටියාවතේ ඇවිදින ගස් බෙණ තුළ අත් ඔබා
මී පැණි මධුපාන බොන
මා ප්‍රිය වළස් මිතුරනි
මේ වගේ බිම්මලක් දැක්කොතින් වැරදිලාවත්
යන මග නොදැක්කා වගේ යන්න
කාගෙවත් අනවරත වේදනාවක
ගොදුරක් නොවන්න
තව මොහොතකින් නොදැන බිම්මලක් කා මියයන
මා සිහිකර නිතර නොතැවෙන්න
ඒත් සිහි තබාගන්න
බිම්මලක් දැක්කොතින් දුවන්න’
එහෙනම් දුවමු නේද?
අනික ශෂීන් මේ කවි බහුතරය ලියලා තියෙන්නෙ, සංතෝෂ විල අසල උසම උස ගහක ඉදන්. එතනිනුත් එහාට ගියාම කිසිඳු වේදනාවකින් තොරව ලියනවා කියලත් කියනවා. එහෙම කියන්නෙම කවි කියවන අනෙක් අයට හැඟවුම්කාරකයක් දෙන්නයි. ඒක ඔබ ඉල්ලගන්න. ඊට පස්සෙ කැමති ගමනක් යන්න!!
~ කාංචනා අමිලානි කරුණාමුනි