2027 වසර සඳහා ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය සියයට 3.7 දක්වා සීමා වනු ඇතැයි ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) පුරෝකථනය කර තිබේ.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නවතම ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook) වාර්තාවෙහි මේ බව සඳහන් කර ඇත.
එහිදී මේ වසරේ (2026) ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 4.0ක් වශයෙනි. මෙම අගය 2025 වසරේදී සියයට 5.0ක් වශයෙන් පැවතිණි.
එසේම 2027 වසර සඳහා මෙරට උද්ධමන අනුපාතය සියයට 5.4 ක් ලෙසත්, විරැකියා අනුපාතය සියයට 3.9 ක් ලෙසත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මූල්ය අරමුදලේ මෙම නවතම වාර්තාවෙන් දක්වා ඇත.
එමෙන්ම 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක අතිරික්තයක් වාර්තා කළ මෙරට ජංගම ගිණුමේ ශේෂය, 2026 දී සෘණ සියයට 0.5ක් (-0.5%) සහ 2027 දී සෘණ සියයට 0.3ක් (-0.3%) දක්වා පහත වැටෙමින් යළි හිඟයක් බවට පත්වනු ඇතැයි ද එම වාර්තාවෙන් දැක්වේ.
ගෝලීය වශයෙන් ගත් කල, ජාත්යන්තර මූල්ය අරමුදල විසින් 2026 වසරේදී සියයට 3.1 කින් සහ 2027 වසරේදී සියයට 3.4 කින් ගෝලීය ආර්ථිකය වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරයි. මීට අමතරව, ගෝලීය මූලික උද්ධමනය මෙම වසරේදී සියයට 4.7 දක්වා ඉහළ ගොස් 2027 වන විට සියයට 4.1 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂිත බවත් එම වාර්තාවෙහි සඳහන්.
යුක්රේනය සහ බටහිර ආසියාව තුළ පවතින යුදමය තත්ත්වයන්, ඒ හේතුවෙන් බලශක්ති සහ අනෙකුත් භාණ්ඩ මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ යාම සහ වෙළඳ බාධකයන්හි සිදු වී ඇති සැලකිය යුතු වෙනස්කම් මෙම ගෝලීය උද්ධමන තත්ත්වයට ප්රධාන ලෙස බලපා ඇති බවත් IMF පෙන්වා දෙයි.



