රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 කොළඹ LNW :
බස්නාහිර පළාතට පමණක් සීමා වී තිබූ මෙට්රො බස් රථ සේවාව දිවයිනේ අනෙකුත් ප්රධාන නගර වෙත පුළුල් කිරීමේ රජයේ පුළුල් වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතී.
මෙම ව්යාපෘතිය යටතේ මහනුවර නගරය සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි නව මගී ප්රවාහන මාර්ග හඳුනා ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ධාවනයක් මෑතකදී සාර්ථකව සිදු කරන ලදී.
ඒ අනුව, මහනුවර සිට ගම්පොල දක්වා කිලෝමීටර් 19කින් යුත් යෝජිත මාර්ගයේ ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කෙරිණි.
මෙම නව මාර්ගය මෙට්රො බස් රථ ධාවනයට සූදානම් කිරීම සඳහා අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට නියමිතය.
මෙම ප්රවාහන පුළුල් කිරීමේ ව්යාපෘතිය හරහා නාගරික පොදු ප්රවාහන සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහනුවර ප්රදේශයේ ජනතාවට වඩාත් පහසු සහ ගුණාත්මක ප්රවාහන පහසුකම් සැපයීම අපේක්ෂා කෙරේ.


