මහ බැංකු අධිපති ධූරය 4 වතාවක් මගහැරී ගිය නන්දලාල් වීරසිංහ විශ්‍රාම සුවය ගත කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ගියේය. කබ්රාල්ට මුදල් ඇමතිවරයා විසින් ඉල්ලා අස්වීමට බල කරන විට කිසිවෙකුට එම නිලය අවශ්‍ය නොවූ අතර, ඔහු ධුරයෙන් ඉවත් වූ සැනින් හනි හනිකට නැවත පැමිණි නන්දලාල් තනතුර භාරගත්තේය. නන්දලාල් මහ බැංකු අධිපතිවරයා වී පැමිණීමත් සමඟ හා හා පුරා කියලා කරපු පළමු ක්‍රියාව ම වූයේ සියලු අනුපාත සියයට සියයකින් ම ඉහළ දැමීම සහ ඩොලර් මිලියන 78 කට බියවී ණය පැහැර හැරීම නිවේදනය කිරීමයි!
ඔහු පත්කිරීමේ ප්‍රතිඵලය වශයෙන් මාස හයකට පසුව වෙළෙඳපොල තුළ කලබලකාරී තත්ත්වයක් ඇති විය. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අනුග්‍රහය දක්වන මෙම ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන ගියහොත්, ණයගැතියන්ට ණය ගෙවීමට නොහැකි නිසා දේශීය බැංකු කඩා වැටීමට වැඩි කලක් ගත නොවනු ඇත. බැංකු පද්ධතියේ බිඳවැටීම තුළින් ආර්ථිකයට පිළිසකර කළ නොහැකි තරමේ හානියක් ද සිදුවන බව පැහැදිලිය.
පොලී අනුපාත විශාල ලෙස වැඩිවීම අවිධිමත් ආර්ථිකයට තුඩු දුන් තවත් ප්‍රධාන කරුණකි. ඇතැම් විශ්ලේෂකයන්ට අනුව නන්දලාල්ට මහ බැංකුවෙන් ඔබ්බට ගිය කිසිදු විශේෂඥ දැනුමක් නැති අතර අර්බුදය හමුවේ ඇඟ හිරිවැටුණු ඔහු ඊට අනුකූලව ප්‍රතිචාර දක්වන්නට ඇත. ප්‍රතිඵලය ආර්ථික විනාශයක් පමණක්ම නම්, බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් නඩත්තුවන අධි මිල මහ බැංකුවකින් අපට ඇති වැඩේ කුමක් ද?
දැන් මහ බැංකුවේ අධිපතිතුමෝ මහින්ද සිරිවර්ධන නම් ඔහුගේ ගෝලබාලයා ද සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් බදු යෝජනා මාලාවක් ගෙනැවිත් ඇත. එය අවසානයේ “උපයා ගන්නා පරිදි ගෙවීම” නොව “උපයා ගන්නා සෑම දෙයක්ම ගෙවන්න” යන දැක්ම සහිත යෝජනා මාලාවක් වනු බවයි පෙනී යන්නේ.
මෙමඟින් බදු ගෙවන්නාට ආපසු ලැබෙන්නේ කුමක්ද? අඩුම තරමේ සමාජ ආරක්ෂාවක් වත් නැත. අහිංසක බදුගෙවන්නාගේ සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) ද මහ බැංකුව විසින් ගසා කා ඇත. මුළු බදු ආදායම ම අයථා ලෙස පරිහරණය කරන්නේ නිලධාරීන් සහ දේශපාලුවන්.
නව බදු යෝජනා වලින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ උපදේශන හිඟයක් පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අල්ලෙහි නැටවීමක් ද දැන් දැන් සිදුවන බවකි. බදු යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර සංශෝධනය කළ යුතු අතර, එසේ නොවුවහොත් මීළඟ අරගලය නන්දලාල්ගේ සහ සිරිවර්ධනගේ නිවසට පැමිණෙනවා ඒකාන්තය. ඔවුන් දෙදෙනාම මසකට රු. මිලියන 2කට වඩා බදු රහිත වැටුප් ලබන අතර ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් වලින් ද විශ්‍රාම වැටුපක් ලබති.
රජය විසින් මිලියන 22 ක ජනතාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට යොදවා ඇත්තේ මෙවන් පුද්ගලයින් දෙදෙනෙකි!
ඒ මදිවාට නන්දලාල් ඕස්ට්‍රේලියානු පදිංචිකරුවෙක්!
මෙවැනි කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට දැමීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ රජය ඔවුන්ගේ ඔළු ගෙඩි පරීක්ෂා කරගත යුතු නැත්ද? ආරම්භයේ සිටම ඔවුන් මතභේද ඇති කරගත් අතර අත්දැකීම් නොමැතිකමත් මීට ලොකු හේතුවක්.
රජය බදු යෝජනා වෙනස් කළ යුතුය, නැතහොත් තම මරණ වරෙන්තුව අතට ගත යුතුය. හැබැයි, නන්දලාල් නම් සජිත් ප්‍රේමදාසගේ පිහිටෙන් දිගටම ධුරයේ සිටිනු ඇත. වර්තමානයේ දී රටේ අවශ්‍යතාවයට වඩා දේශපාලන වාසිය වැදගත් වී ඇති බව විපක්ෂ නායකවරයා පැහැදිලිව පෙන්වා දී තිබේ.
මෙහි දී බදු සඳහා වන සීමාව වාර්ෂිකව රු. මිලියන 1.2ක් කළ යුතුය. බදු අනුපාතය සියයට 5, 10, 15, 20, 25 සිට ක්‍රමයෙන් වෙනස් කළ යුතුය. එමෙන්ම එම බදු අනුපාතය සියයට 30 ට සීමා කළ යුතුය. පුද්ගලයන්ගෙන් පොලී මත අය කරන බද්ද සඳහා අවසාන වශයෙන් බද්දක් නියම කළ යුතුය. වාර්ෂිකව ජ්‍යෙෂ්ඨ පුරවැසි සහනය සියයට 10 ක අනුපාතය සමඟින් රු. මිලියන 1.2 ක දක්වා ගෙන යෑම ප්‍රමාණවත් ය.
දුක්විදින ජනතාවගේ බඩගෝස්තරය රැකගන්න තියෙන ජීවනෝපායන් විනාශ කිරීමට ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් පෝෂණය වන නිලධාරිවාදී පරපෝෂිතයන්ට ඉඩ ලබා දිය යුතු ද? වෙනසකටත් එක්ක හිටපු ඇමති විමල් වීරවංශ, නන්දලාල් වීරසිංහ විප්ලවයකට පාර කපනවා යැයි කීවේ නිකමට ම නොවේ.
කෙසේ වෙතත් මේවා අහන දකින රටේ ජනාධිපතිට කොන්දක් නැත්නම් මොනවා කරන්නද?
විශේෂ ලිපිකරුවකු විසිනි