මට නම් දැන් තියෙන එකම අවුල මේ රටේ දැවෙන සහ මට බලපාන ප්‍රශ්නවලට බනින්න කෙනෙක් නැති එක. ඇඟිල්ල දිගු කරන්න කෙනෙක් නැති එක.
ඉස්සර නම් මට සහ මේ රටේ ගොඩක් අයට මේ සියලු අර්බුද වලට වගකියන්න ඕනි කියල හිතපු ”අනෙකෙක්” හිටිය. ඒ අනෙකාට තමයි අපි කිව්වේ මේ රට විනාශකරපු සාම්ප්‍රදායික දේශපාලඥයෝ කියල. ඕනිනම් ප්‍රභූන් කියලත් කියතහැකියි.
අර කියන දැවෙන ප්‍රශ්න එයාල ඇතිකළා වුනත් නැතත්, ඒ ප්‍රශ්න වලට එයාල විසඳුම් හෙව්වා උනත් නැතත් අපිට තිබ්බ එකම සහනය තමයි බඩු මිල වැඩිවෙනකොට, තෙල් මිල වැඩිවෙනකොට, ලයිට් බිල වැඩිවෙනකොට, පඩිය කැපෙනකොට, යනාදී වශයෙන් ගොඩක් දේවල් සිද්දවෙනකොට අපි අර ප්‍රභූ කියන සෙට් එකට බැන්න එක, ශාපකළ එක, යැද්ද එක, හෙණ ඉල්ලුව එක. විශේෂයෙන් රනිල් කියන චරිතය කේන්ද්‍රකරගෙන සහ අපේ කේන්තිය ඒ චරිතය එක්ක බද්ධ කරගෙන පහුගිය අවුරුදු දෙක ඇතුලේ අපි යම් හෝ සහනයක් ලැබුවා.
ඊට කලින් මහින්ද. මෛත්‍රී, ගෝඨා වගේ අය හිටිය.
මොනවා තිබ්බත් අපිට ඒ ”අනෙකාට බණින සහනය” වැදගත් උනා. අපි රනිල්ට බැනල අපේ ආවේගය නිවාගත්ත. අපේ ආවේගය මුදාහැරිය. ඒ මුදාහැරීම එක්ක අපි තාවකාලික වශයෙන් හරි සුවපත් උනා. ඒ අනුව රනිල් කියන්නේ අපේ කැතාර්සිසයේ නැත්නම් කැතාර්සිසය මුදාහැරීමේ කේන්ද්‍රීය සහ අත්‍යවශ්‍ය චරිතය උණා. රනිල් නිසා අපේ කේන්තියෙන් මිදෙන්න අපිට දිනපතා පුළුවන් උනා.
ඒත් දැන්? දැන් අලුත් පුනරුද යුගයක් ඇවිල්ල කියල කට්ටිය කියනවා. ඒත් දැනුත් අර පරණ විදියටම බඩුමිල ඉහල යනවා. තෙල් ඒ ගානමයි. බස් වල අපි පොල් පැටෙව්වා වගේ යන්නේ පරණ විදියටමයි. කිසිම අලුත් කියල දෙයක් නැහැ. වීප්ලවයට පස්සේ දවසෙත් අපේ ජීවිතේ පරණ විදියමයි. කේන්තිය ඒ විදියමයි.
විප්ලවයට පස්සේ දවසේ ඉදල වෙනසක් කරන්න නම් විප්ලවයට පෙර ඉඳල ලොකු සූදානමක් තියෙන්න ඕනි. දැන් පේන විදියට එහෙම එකක් තිබිල නැහැ. තිබිල තියෙන්න රනිල්ගේ විදිය විතරයි.
ඒත් දැන් රනිල් නැහැ. දැන් බනින්න කෙනෙකුත් නැහැ. පිරිසිදු අයට බැනල වැඩකුත් නැහැ. දුෂ්ටයෙක් නැහැ.
දේශපාලනයේ දුෂ්ටයෙක් නැති නිසා ආවේගය අපි ඇතුලෙම කැකෑරෙමින් තිබිල අපි රෝගීවෙනවා.
නිරෝගී වෙන්න නම් අපිට අලුත් මාස්ටර් කෙනෙක් ඕනි වෙයිද ?
~ මහේෂ් හපුගොඩ
RN