ටර්බයිනය තවමත් වැඩ – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ගැන…..

0
116

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 18,  කොළඹ LNW:

ජාතික පාසල් ක්‍රීඩා උළෙල නිමාවට පත් විය.වඩාත් තරගකාරී තලයකට ක්‍රීඩාව පත්වෙමින් තිබීම සුවිශේෂීය.දක්ෂයන්ගේ නවාතැන් පොළවල් බවට සිය පාසල් පත් කර ගැනීමේ තරගයක් ඇති වී ඇත.ඒවා ක්‍රීඩාවට යහපත්ය.එහෙත් ඉණිමඟට පයින් ගසා නොපැමිණ,පළමු පියවර තැබූ තැනට ගරු පුද සත්කාර කර එන්නට හුරු කරන සදාචාරයද අවශ්‍යය වන්නේය.නැතිනම් දවසක තමන් ගොඩ කරන ඉණි මඟෙන් බැස යන්නේ එයට ඉවත බලා නොව පයින්ද ගසා බව සිතා ගැනීම වැදගත්ය.


මේ උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ අයෝමාල් අකලංකය.ඒ මීටර් 400 කඩුලු ඉසව්වවෙන්ය.මීට වසර දෙකකට පමණ පෙර ඔහුට හිමි වු දක්ෂතම ක්‍රීඩක කිරුළ නොදී සිටින්නට අපූරු සිද්ධාන්ත තැනූ අයට මෙවර බෝල අකුරෙන් අයෝමාල්ගේ නම ලියන්නට සිඳු වී ඇත.පළාත,පාසල හෝ දිසාව නොව ජාතික පාසල් ක්‍රීඩා උළෙලක අරමුණ විය යුතුව ඇත්තේ පළාත් මට්ටමේ විශිෂ්ඨයා කවුද යන්න හොයා ගැනීමය.මෑත කාලයේ බිහි වූ කණිෂ්ඨයන් අතරින් අයෝමාල් අඛණ්ඩව තමන් දක්ෂයෙකු බව සහ අනාගතයට ඉහළ වටිනාකමක් ඇති අයෙකු ලෙස පහදා දෙමින් ඇත.ඇත්තටම ඔහු පාසල් සූරයා නොව ජාතික සූරයා ද වන්නේය.

අයෝමාල් මෙවර මීටර් 400 කඩුලු ඉසව්වේ තත්පර 49 සීමාවට පිවිසියේ එසේ දුවන ලද තෙවැනි ලාංකිකයා ලෙස සහ ලාබාලතම ලාංකිකයා ලෙසය.ජාතික වාර්තාව සතු හරිජන් රත්නායක වාර්තා කර ඇති කාලය තත්පර 49.44 කි.අශෝක ජයසුන්දර තත්පර 49.78 ට දිව ගොස් ඇත.මේ අතරින් අශෝක සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් අයෝමාල් ට සුබ පතන්නේ තත්පර 48 සීමාවට පහසුවෙන් සහ තරගයකින් තොරව ළඟා විය හැකි ක්‍රීඩකයා ලෙස අයෝමාල් ව හඳුන්වමින්ය.එය වැදගත් සහ නිහතමානි සුබ පැතුමක් වන්නේ අද අශෝක ද කඩුලු මතින් දිවීම විශේෂ කර ගත් පුහුණුකරුවෙක්ව සිටිමින් දෙනු ලබන ආශිර්වාදයේ ස්වභාවය නිසාය.


සේ සියල්ල අතර විදුලිපුර විදුලිය තැනූ ටර්බයින්ය පෙර පරිදිම විදුලිය උත්පාදනය කරන බව මේ තරගාවලිය තුළ සනාත කිරීම කැපී පෙණින.සුගත් තිලකරත්නගෙන් පසුව ද යම් යම් ජාතික වටිනාකම් තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන ආව ද ඒවා සාර්ථක අවසානයක් කරා ගෙන යන්නට මේ ටර්බයිනය වූ අනුර බණ්ඩාරට නොහැකි විය.ඪට අවාසනාවන්ත සහ අවස්ථාවාදී හේතූන් ගණනාවක් හරහට සිටියේය.එහෙත් සමනොළ ගිර මෙන් අකම්පිතව නොසෙල් වී අයෝමාල් අල්ලා සිටියේය.දැන් තත්පර 50 මෙපිටට ඇවිත්ය.කඩුල්ල ඉක්මවා යාමට අවශ්‍යය ධාවන වේගය සකසා ගැනීමේ වගකීම් මීටර් 400 ට පවරා ඇත.එයද තත්පර 46.29 න් දුව ගොස් දෙවැනි තැන ලබා ඇත.එපමණක් නොව ටර්බයිනය විසින් වේගය ඉපැද්දූ අඹගමුව මධ්‍ය විද්‍යාලයේ සන්සලා හිමාෂානි, 2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී අවුරුදු 18 න් පහළ මීටර් 400 කඩුලු ඉසව්ව විනාඩි 1:01.34 න් නිමා කිරීම ද නව තරග වාර්තාවක්ය.


දැන් සුගත්ගේ මීටර් 400 වාර්තාවට සීමා නොවුණු එය අහම්භයක් නොවුණු පුහුණුකරුවෙක් ලෙස තවමත් අනුර බණ්ඩාර පවතින බවට සාක්ෂි සනාතය.සුගත්ගේ දවස ද,පුංචි තේ හැන්දකින් වරප්‍රසාද ලැබුණු අසාධාරණයට ලක් වුණ සිය පුහුනුකරුවාගෙන් මේ රටට උපයා ගන්නට තිබුණ දේ නොලද බව වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා තරම් සමහර විට අනුර බණ්ඩාරවත් නොදන්නේය.ෙකසේ වුවත් දැන් සුගත්ලාගේ කාලයටත් වැඩිය වර්ථමානය වෙනස්ය.රාජ්‍ය සේවකයන්ට විදෙස් ගත වීමේ ඉඩ පවතින්නේය.ඒ අනුව කලත්‍රයාටද අවස්ථාව හිමිවන ක්‍රමවේදයක් ඇති නිසා සුගත්ලා වෙනුවෙන් සිය විවාහය පවා පමා කර ගනිමින් කටේ හුස්ම සිඳෙන තෙක් විසිල් එකක් තනා ගෙන පිඹ පිඹ දඟළපු මෙු මනුස්සයාට සහ මේ අපූරු ක්‍රීඩකයාට මීට වඩා පහසුකම් ඇති පොළවක අධ්‍යයනයට අවස්ථාවක් සළසා දිය හැකිනම් වැදගත්ය.එය කළ නොහැක්කක් නොවේය.


එසේම සුගත් අවුරුදු 18 ගෙවෙන තැන දී මීටර් 400 ජාතික වාර්තාව ලෙස පැවති තත්පර 46.21 බිඳ දමමින් කළ දස්කම කළ හැකි පොකුරක් මේ වන විට හැදෙමින් ඇත.තත්බර 46 සීමාවේ තරගය නිමා කළ සහ පෙර පැවති වාර්තාව අභිබවා ගිය තිදෙනෙකුය.මේ අලුත් යහපත් ප්‍රවනතාවය විශ්වාසයෙන් අගය කළ යුතුය.


මැදි දුර දිවීමේදී තරුශි අභිශේකාගේ දස්කම් සුළු නැත.මයෝන් රාජසිංහ අවුරුදු 16 ක් පහළ යගුලිය වීසි කිරීමේ ඉසව්වේ දී දක්වන ලද මීටර් 18.57 ක දක්ෂතාවය හොඳම විසී කිරීම සඳහා සළකා බැලුවේ නැත.ඔහුට ලකුණු හිමිවන්නේ පවතින ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනෙන්මය.16 න් පහළ යගුලියේ බර අඩු නිසා ජාතික වාර්තාව නොඳුන්න ද,එම වයස් සීමාවට නියම කර ඇති බරට ලකුණු පිරිනැමෙන්නේ එකම ආකාරයකටය.ඒ ඒ වයසට හිමි උපරිමය වන බැවින් එම දක්ෂතාවය උළෙලේ ඇගයීම් කිරීමේදී සළකා බැලිය යුතුය.මීට පෙර අයෝමාල් ට ද මේ ඉරණම අත් විය.ඒ නිසා ඒවා ගැන අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩාව දන්නා බව පෙන්වන්න ඇතැමුන් ගන්න තීරණ ද නොදන්නා අය ගන්න තීරණ ද වෙනස් කර තීරණ ගැනීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතුය ඇත.


වැදගත්ම දේ මේ ක්‍රීඩා උළෙල අනාගතය ගැන යහපත් බලාපොරොත්තු ඇති කරමින් මලල ක්‍රීඩාව ඉදිරියට තල්ලු කළ අවස්ථාවක් ලෙස ගත හැකිය.එසේම මේ ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන සැඟවුණ චරිතයක් ද ඇත.ඔහු සුනිල් ජයවීරය.පුහුණුකරුවන් ලෙස මේ දක්ෂයන් නිර්මාණය කරන ක්‍රීඩා ගුරුවරුන් පිළිබද විද්‍යාපීඨ සංකල්පය මෙන්ම පුහුණුකරුවන් පිළිබඳ නව සංකල්පය ද එතුමන්ගේය.ඒ නිසා සුනිලුන් කළ දෑ ද අභිමානයෙන් සටහන් කරමින් මෙවර ජාතික පාසල් ක්‍රීඩා උළෙල මතු කළ අනාගත වටිනාකම් සුරක්ෂිත කර ගැනීමට අවධානය ඉහළ සිට පහළටම යොමු වේවා යන්න අපේ පැතුමය.