සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් රුසියාවට එරෙහි නව සම්බාධක ක්රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ.
රුසියාව සාකච්ඡා මේසයෙන් ඉවත්වීමට හේතු වන කිසිදු ක්රියාමාර්ගයක් ගැනීමට තමන් අපේක්ෂා නොකරන බව ට්රම්ප් සිය Truth Social සමාජ මාධ්ය ගිණුම ඔස්සේ සඳහන් කර ඇති අතර එ් අනුව 2026 ඔක්තෝබර් 16 වැනිදා ට්රම්ප් විසින් රුසියානු නිලධාරීන්, බැංකු සහ බලශක්ති වෙළෙඳාමට සම්බන්ධ පාර්ශ්ව ඉලක්ක කර සැළසුම් කර තිබූ විධායක නියෝගයක් මගින් රුසියාවට එරෙහිව අලුතින් ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ පුළුල් සම්බාධක පැකේජයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඇමෙරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ, සම්බාධකවල බලපෑම පිළිබඳව ඇගයීමක් සිදුකිරීම සඳහා දින 60ක කාලයක් ලබාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකානු දේශපාලන ක්ෂේත්රයේ විවේචන එල්ල වී තිබේ. සම්බාධක අත්හිටුවීමෙන් රුසියාවට යුක්රේනයට එරෙහි යුද්ධය පවත්වාගෙන යාමට සහායක් ලැබිය හැකි බව විවේචකයෝ පෙන්වා දෙති. මේ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද ඇමෙරිකාවේ මෙම තීරණය පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්ය තාන්ත්රික උත්සාහයන් අඛණ්ඩව ක්රියාත්මක වන අතර, සම්බාධක අත්හිටුවීම එම සාකච්ඡාවලට කෙබඳු බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.

