සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්රංශය පුරා පැතිර ගිය ප්රචණ්ඩ විරෝධතා සහ කොල්ලකෑම් මැඩපැවැත්වීම සඳහා බලපෑමට ලක්වූ ප්රදේශවල ඇඳිරි නීතිය පැනවීමට ප්රාදේශීය බලධාරීන්ට උපදෙස් දුන් බව ප්රංශ අග්රාමාත්ය සෙබස්තියන් ලෙකෝර්නු ප්රකාශ කර තිබේ.
සති අන්තයේ පැවති විරෝධතා අතරතුර රාජ්ය ගොඩනැගිලි, නගර සභා කාර්යාල සහ ව්යාපාරික ස්ථාන රැසකට හානි සිදුවී ඇති අතර, ඇතැම් ස්ථානවල කොල්ලකෑම් සහ ගිනි තැබීම් ද වාර්තා වී ඇති අතර ප්රචණ්ඩ ක්රියාවලට සම්බන්ධ වූ පුද්ගලයන් දැඩි ලෙස විවේචනය කළ අග්රාමාත්යවරයා, රටේ මහජන සාමය සහ ආරක්ෂාව යළි ස්ථාපිත කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, සමස්ත පැරිස් නගරයටම ඇඳිරි නීතිය පැනවීමේ සැලසුමක් නොමැති බවත්, අවශ්යතාව අනුව බලපෑමට ලක්වූ ප්රදේශවලට පමණක් සීමා වූ පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල පවතින ගැටලු සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ ශිෂ්ය විරෝධතා පැවති අතර, පසුව ඒවා රට පුරා පුළුල් විරෝධතා දක්වා වර්ධනය වී තිබේ. ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ වාර්තා අනුව, මේවන විට ප්රචණ්ඩකාරී සිදුවීම්වලට අදාළව පුද්ගලයන් 2,400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර, රටේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මතු වූ විවේචන හමුවේ අභ්යන්තර කටයුතු අමාත්ය ලෝරන්ට් නුනෙස් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබුණද, ජනාධිපති එමානුවෙල් මැක්රොන් එය ප්රතික්ෂේප කරමින් ඔහුට එම ධුරයේ තවදුරටත් කටයුතු කරන ලෙස දැනුම් දී ඇති අතර විරෝධතා අතරතුර සිදුවූ හානි පිළිබඳව විමර්ශන මේ වනවිට සිදුකෙරෙමින් පවතියි.

