ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ

කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත් පිළිබඳව සමාජය තුළ දැඩි කතා බහක් පවතිනවා. රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත,සංවිධානාත්මක අපරාධකරුවන් කොටු කර ගැනීමේ පනත් කෙටුම්පත මෙන්ම සමාජ මාධ්‍ය මගින් සිදු කෙරෙන අකටයුතුකම් පාලනය සඳහාවු පනත් කෙටුම්පත මෙහිලා ප්‍රමුඛස්ථානයක් ගන්නවා. මෙයින් සමහර පනත් කෙටුම්පත් තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර ඉදිරියේදී තවත් පනත් කිහිපයක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වීමට නියමිතය.

මේවායින් ඇතැම් නීතිරීති ඉතාමත් අත්‍යවශ්‍ය බව බැලූ බැල්මට පෙනුනත් ඒවාට එරෙහිව නැගී ඇති විරෝධය නිසා මේ ගැන පුරවැසි අවධානය යොමු කළ යුතු යැයි මා සිතනවා. ඇතැම් වගන්ති අධිකරණය හමුවේ ඉතිරිපත්ව ඇති පෙත්සම් හමුවේ වෙනස් වීමට ඉඩක් පවතිනවා.

මා හිතනවා මේ අවස්ථාවේ කළ යුත්තේ මේ නව රෙගුලාසි මගින් යෝජිත නව රෙගුලාසි එක මිටට ගෙන අදහස් දැක්වීමයි. 1979 වසරේ තාවකාලික යන ලේබලය යටතේ නීතිගත වූ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත විශේෂිතයි. එම පනත පැවති හැම ආණ්ඩුවක්ම අනිසි ලෙස පාවිච්චි කළ බව අමුතුවෙන් කිවයුතු නෑ. දේශපාලන විරුද්ධවාදීන් ඉතාමත් ම්ලේච්ඡ ආකාරයෙන් මර්දනය කිරීමට මෙම පනත යොදාගත් බව පරම සත්‍යයක්. මේ නිසා විපතට පත් පුද්ගලයන් සංඛ්‍යාව දහස් සංඛ්‍යාතයි.

මෙම පනතට එරෙහිව නැගීසිටි බලවේග අතර වර්තමාන ආණ්ඩුව මෙහෙය වන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන්ම සිටියා. ඔවුන් ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේද ත්‍රස්ත පනත බලයට පත් ඉක්මණින්ම අහෝසි කරන බවයි. එහෙත් බලයට පත් සැණින්ම එය ඉටු නොවුනා මෙන්ම එම පනත දිගටම පැවතුනා.

දැන් එය අහෝසි කිරීමට ආණ්ඩුව සූදානම්. එය හොඳයි විය යුත්තක්. නමුත් ගැටලුව ඇත්තේ එතන නොව ඒ වෙනුවට ගෙන ආ පනත ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඊටත් වඩා භයානක බවට නැගෙන චෝදනාවයි.

මේ පනත හුදකලා නොකර මේ හා සම මට්ටමේ පවතින නව පනත්වල පොදු සාධකය පිළිබඳවය අප අවධානය යොමුකළ යුත්තේ. එක් පනතකින් ඉවත් කෙරෙන මර්දන නීති තව පනතකින් නීති ගත කිරීමට ගන්නා ප්‍රයත්නයකි බැලූ බැල්මට දක්නට ලැබෙනුයේ. උසාවි නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ලබා දීම, අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ නියෝගයකින් අත්අඩංගුවට ගැනීම, ඉහළ පොලිස් නිලධාරියකු ඉදිරියේ කරනු ලබන පාපොච්චාරණයකට නීත්‍යනුකූල හිමිකම ලබාදීම, ඇඳුම හා ශරීර සලකුණුවලට අනවශ්‍ය වැදගත් කමක් ලබා දීම, ඇප ලබා දීම දැඩි ලෙස සීමා කිරීම මෙයින් විරෝධයට ලක් වී ඇති කරුණු කිහිපයකි.

එමෙන්ම බරපතළ අපරාධකරුවන් හඳුනා ගැනීම ගැන ද පවත්නේ ලිහිල් පිළිවෙතකි. තිදෙනකු හෝ එකකතුව පවත්නා සාකච්ඡාවක් පොලීසියට අවශ්‍ය නම් අපරාධයකට අර අඳින සාකච්ඡාවක් ලෙස අර්ථ ගැනීමට හැකි බවටද චොදනා නැගෙයි.

මෙම නව කෙටුම්පත්වල සාධනීය කරුණු රාශියක් ඇතත් ඇතැම් කරුණු දැඩි ලෙස පුද්ගල නිදහස සීමා කරන බව නම් සත්‍යයකි. විශේෂයෙන් ඔන්ලයින් පනතින් භාෂණයේ නිදහස දැඩි ලෙස සීමාකර තිබේ.

මෙම විරෝධතා ඉදිරිපත් කරන කණ්ඩායම් අතර ප්‍රධාන විපක්ෂය මෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම් සිටින බව සත්‍යයක්. නමුත් එසේවූ පමණින් විරුද්ධ කණ්ඩායම් ඉදිරිපත් කරන තර්ක අහෝසි වන්නේ නැත.

නමුත් මෙම විරෝධතාවල ඉදිරියෙන් සිටිනුයේ රටේ ප්‍රමුඛ පෙළේ පුරවැසි සංවිධානය. මාධ්‍ය සංවිධාන, පුද්ගල නිදහස පිළිබඳ ප්‍රමුඛ පෙළේ ආයතන මෙහිදී ඉදියෙන්ම සිටිනවා.

මෙම සංවිධානවලින් වැඩි හරියක් වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙසුණු සංවිධාන හා පුද්ගල චරිත. මොවුන් කිසිම පෞද්ගලික ලාභාපේක්ෂාවක් ඇතිව නොවේ එම කර්තව්‍යයන්වල නිරත වූයේ. නීතිය හා සාධාරණාත්වය රජයන සමාජයක් බිහිකිරීම ඔවුන් පරම පවිත්‍ර අභිලාෂය වූ බව මා පෞද්ගලිකවම දන්නවා.

එම නිසා මෙවැනි විරසක තත්ත්වයක් ඇතිවීමට හේතුව ඇයිදැයි යන්න ද බරපතළ සැකයට තුඩුදෙන කරුණක්. ආණ්ඩුව අවංකද? නැත්නම් මර්දන නීති ගෙන එනු ලබන්නේ සැඟවුණු අපේක්ෂා සහිත න්‍යාය පත්‍රයකට අනුවද?

ආණ්ඩුව අවංක නම් පුරවැසි සමාජය සමග සාකච්ඡා කර වැරදි තැන් ඇතොත් ඒවා නිවැරදි කර ගැනීමට තවමත් කල් ඇත. ඇතැම් මර්දන නීති මුට්ටිය දා බැලීමකැයි හිතෙනවා. අවශ්‍ය වුණොත් තීරණාත්මක මොහොතක පාවිච්චියට ගැනීමටද ආණ්ඩුව මේ කැසකවනුයේ.

සියලුම නව පනත් කෙටුම්පත් එකට ගෙන බැලීමේදී පුරවැසි සමාජයෙන් නැගෙන විරෝධතා සාධාරණ බවක් පෙනෙනවා. එනම් කාලයක පටන් මා නිරීක්ෂණය කරන තවත් ලක්ෂණයක් තිබෙනවා. එනම් මොන පනතක් හෝ ප්‍රකාශයට පත්කිරීමට පෙර අදාළ අංශ සමග සාකච්ඡා නොකිරීම. එසේ කරන්නේ නම් සමාජයෙන් නැගෙන ප්‍රතිවිරෝධතා සාධනීය ලක්ෂයක් කරා ගෙන ඒම අපහසු නෑ.

මෙය ස්වාභාවික උද්දච්චකම ද නැත්නම් සැඟවුණු අපේක්ෂා ද යන්න පැහැදිලි නෑ. පුරවැසි සමාජයේ බහුතරයට ආණ්ඩු පෙරළීමේ හෝ රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමේ වුවමනාවක් නෑ. එමෙන්ම ඇතැම් දේශපාලන නායකයන් විටින් විට කරන මෝඩ ප්‍රකාශයක් පිළිබඳව සඳහන් කරමින් මෙම අදහස් දැක්වීම නිමාවට පත්කරනවා. එනම් නීති කෙසේ තුබුණද තමන් වැරදි ලෙස ඒවා භාවිතා නොකරන බවයි.

නමුත් මගේ පෞද්ගලික අදහස නම් නීති සම්පාදනය කළ යුත්තේ කිසිවෙකුට නොනැමිය හැකි ආකාරයටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...