*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

බෝජෝ සමඟ නැඟිටිමු: වඩා ලොකු අගමැතිකම ද? ලැජ්ජා නැතිකම ද?

මේ වන විට බ්‍රිතාන්‍යයේ දේශපාලන පිටිය ගිනිගනිමින් පවතින බව වාර්තා වෙනවා. ඒ අන් කවරක් නිසා නෙවෙයි, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මහත්මිය ඉල්ලා අස්වන බවට පළවන පුවත් සහ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යළි ධුරය භාර ගැනීමට සූදානම් බවට පළවන පුවත් සිරස්තල නිසා.

එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ පුවත්පත් කිහිපයක් ම මෙම පුවත වාර්තා කර තිබුනේ පහත පරිද්දෙන්.

ලිස් ට්‍රස් මහත්මිය ඉල්ලා අස්වන බවට පළවන පුවත් ශීර්ෂපාඨ සමඟ මතුවන තවත් වැදගත්ම අනු සිරස්තලයක් වන්නේ බ්‍රිතාන්‍යයේ කෙටිම කාලයක් (දින 44) ධුරය හෙබවූ අග්‍රාමාත්‍යවරිය ලෙස ඈ ඉතිහාසගත වන බවයි. ඒ අතර බ්‍රිතාන්‍යයේ සිටි දුර්වලම අග්‍රාමාත්‍යවරිය ද ලිස් ට්‍රස් බවට ඇතැම් පුවත්පත් ශීර්ෂපාඨ පළවන ආකාරය දැක ගන්නට පුළුවන්.

ලිස් ට්‍රස් ගේ දින 44 පාලනය පිළිබඳව ගැටළු සහ විවේචන තිබෙන බව සාධාරණ වෙන්න පුළුවන්. ඈ බලයට පැමිණීමත් සමඟ බ්‍රිතාන්‍යයේ මහ බැංකුව (බෑන්ක් ඔෆ් ඉංග්ලන්ඩ්) විසින් ප්‍රකාශයට පත් කර තිබූ සියයට 02ක් වූ පොලී අනුපාත සියයට 05 දක්වා ඉහළ ගියා. මේ වන විට බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1 ලෙස සනිටුහන් වී තිබෙනවා.

නමුත් දැන් බ්‍රිතාන්‍යයේ දේශපාලන වේදිකාවේ සිදුවන දෑ නිරීක්ෂණය කරන විට මට නම් හිතෙන්නේ එංගලන්තේ ඈයොයි අපේ ඈයොයි අතර වැඩි වෙනසක් නැතිය කියා. ලිස් ට්‍රස් ඉල්ලා අස්වුනු බවට නිවේදනය පළවෙනවත් සමඟම මෙන්න බොරිස් ජොන්සන් තමයි අපේ විකල්පය කියා පිරිසක් කෑ ගහනවා?

දැන් එංගලන්තෙන් මහින්ද සමඟ නැඟිටිමු සුදු වර්ෂන් එක බෝජෝ සමඟ නැඟිටිමු ආරම්භ වෙලාද කොහෙද..

බොරිස් ජොන්සන් ට කෙටියෙන් කියන්නේ ‘බෝජෝ’ කියා ය. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තම ධුරය හෙබි කාලසීමාව තුළ බෝජෝ ගේ කෙරුවාව කොපමණ ද කිවහොත් ඔහුව මාධ්‍ය විසින් හඳුන්වා තිබුනේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා’ කියාය. ඔහුගේ ධුර කාලසීමාව තුළ කළ කී දෑ පොඩ්ඩක් අපි යළි සිහියට කැඳවා ගනිමු ද?

බෝජෝ ගේ කෙරුවාව..

කෙසෙල් ගෙඩි වල හැඩය වෙනස්විය යුතු සහ කොන්ඩම් වල ප්‍රමාණය විශාල කළ යුතු බව ආදී ලිංගිකත්වවාදය ප්‍රවර්ධනය වන අන්දමේ වාර්තාකරණයක නියැලුනු මාධ්‍යවේදියකු ලෙස තම වෘත්තිය ආරම්භකරන බොරිස් ජොන්සන් මීට වසර 04 කට ඉහත බ්‍රිතාන්‍ය යේ අග්‍රාමාත්‍යවරයා බවට පත්ව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම හෙවත් බ්‍රෙක්සිට් සඳහා ප්‍රභලව ප්‍රචාරණ ව්‍යාපාර කළ පුද්ගලයෙක්.

ලොව සිටින ප්‍රභලතම රාජ්‍ය තාන්ත්‍රිකයකු විදියට බ්‍රිතාන්‍ය දේශපාලනයේ දක්ෂිණාංශික කුළුණ රජයෑමට ඔහු සමත් වූවා. බ්‍රෙක්සිට් සඳහා පාර්ලිමේන්තු බහුතරය දිනා ගැනීමට සමත් වූවා.

බොරිස් ජොන්සන් ගේ සම්ප්‍රාප්තිය බ්‍රිතාන්‍ය දක්ෂිණාංශික දේශපාලනයට ප්‍රීති ඝෝෂා නැඟීමට හේතුවක් වූවත්, උසස් මානුෂීය ගුණාංග හෑල්ලුවට ලක්කළ මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකළ සහ බ්‍රිතාන්‍ය සුදු වර්ගවාදී ලක්ෂණ ඔහු මුල සිටම විහිදා පෙන්වූවා. වරක චීන ගුවන් සේවිකාවකගේ ඉංග්‍රීසි උච්ඡාරණය උපහාසයට නඟමින් වෙරි සොරි වෙනුවට ඇය කීවේ වෙලි සොලි යනුවෙන් බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා.

වරක එච්අයිවී සහ ඒඩ්ස් අතර වෙනස නොදන්නා බොරිස් ජොන්සන් වර්තමානය වන විට ප්‍රතිවෛරස ඖෂධ හෙවත් ඒආර්ටී ලබා ගැනීම හරහා වෛරස ආසාදනය වූවන් හට වෛරසය ආසාදනය නොවූ පුද්ගලයකු හා සමානව ම ජීවත් වීමට හැකියාව තිබිය දී, එවන් පුද්ගලයකු හරහා තවත් පුද්ගලයකුට ලිංගිකව එච්අයිවී සම්ප්‍රේශණය කළ නොහැකි බව සොයාගෙන තිබියදී සහ ප්‍රිඑක්ස්පෝෂර් පොෆිලැක්සිස් වැනි ඖෂධ ඔස්සේ එච්අයිවී සම්ප්‍රේශණය සියයට 99 කින්ම වළක්වාලන බව සොයාගෙන තිබිය දී, ලිංගික ඇසුරක දී ප්‍රිඑක්ස්පෝෂර් පොෆිලැක්සිස් සමඟ කොන්ඩම භාවිතයෙන් එච්අයිවී ආසාදනය සම්ප්‍රේශණය වීම සියයට සියයක්ම වළක්වා ගත හැකි බව සොයාගෙන තිබිය දී අදටත් ඒඩ්ස් මාරාන්තිකය, ඒඩ්ස් සඳහා විකල්පයක් සොයාගැනීමට අප අසමත්ව ඇති ය යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

සමරිසි පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන වෛකල්පිත මනෝචිකිත්සක ප්‍රතිකර්මයක් වන කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති පරිවර්තන චිකිත්සා හෙවත් කන්වර්ෂන් තෙරපි තහනමට බ්‍රිතාන්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් පමණක් නොව වෛද්‍ය ප්‍රජාව පවා අධිවාචන ව්‍යාපාර පවත්වද්දී ආගමික නිදහසේ නාමයෙන් පල්ලිය ඔස්සේ සිදුකරන කන්වර්ෂන් තෙරපි නවතා දැමීමට තමාට නොහැකි බව පවසා සිටියේ මේ බොරිස් ජොන්සන් ය. විපක්ෂ නායක බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් එල්ජීබීටීඅයිකිවු අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ සර්වනාම වලට ගරුකරමින් කතා කිරීම හෑල්ලුකරමින් තම පක්ෂය වූ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ ම සිටි සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් ඇති ජේමි වොලිස් ඉදිරියේ සමච්චල්සහගත අන්දමින් හැසිරණේ මෙම බොරිස් ජොන්සන් ය.

බ්‍රිතාන්‍ය දේශපාලනයට පිවිසි 2001 වසරේ සිට මේ දක්වා ම තම දේශපාලන තක්කඩිභාවය මනාව ප්‍රදර්ශනය කිරීමට බෝජෝ කටයුතු කළ බව නොරහසක්. බෝජෝ යනු තම වර්ගවාදී සහ ආක්‍රමණශීලී, විවිධ අනන්‍යතා ඇති පුද්ගලයන් හෙළා දකින සහ පහත්කොට කතා කිරීමේ ලක්ෂණය වගේ වගක් නැතුව ප්‍රදර්ශනය කළ පුද්ගලයෙක්. 2017 වර්ෂයේදී තම පක්ෂය සමඟ පැවති රැස්වීමක දී යුද්ධයෙන් සුනුවිසුණු වී ගිය ලිබියාව මීළඟ ඩුබායි නගරය බවට පත්විය හැකි බව කියා සිටියා. එවකට බෝජෝ තම පූර්වගාමියා වූ තේරේසා මේ ට ස්තූතිවන්නට බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ විදේශ ලේකම්.

2018 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා වීමට ප්‍රථමව පවා ඔහු රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි රාශියක් කළ තැනැත්තෙක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඉරානයේ බන්ධනාගාරයක රඳවා සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට දීර්ඝ සිර දඬුවම් විඳීමට සිදුවූයේ බොරිස් ජොන්සන් එම ගැටළුවට ප්‍රතිචාර දැක්වූ අන්දම මත බව බොහෝ දෙනෙකුට දැන් මතක නැහැ.

බ්‍රෙක්සිට් ගැළවුම්කාරයා යන විරුදාවලිය ලබා සිටි බොරිස් ජොන්සන් ජාතියේ හතුරකු බවට පත්වීමට වැඩිකලක් ගත වූයේ නැහැ. ඒ කුප්‍රකට පාර්ටිගේට් ජරමරය නිසා. මේ ගැන ලිපි පෙළකින් මා මීට පෙර කතා කර තිබෙනවා.

කොවිඩ් වසංගතය වෙලාවේ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවාව විධිමත් අන්දමින් පවත්වාගෙන යාමට බෝජෝ උපදෙස් දීලා තිබුණා. තම තක්කඩිකම කොපමණ වූවත් ඒකෙන්ම දක්ෂිණාංශිකයන් අතර බැබලෙමින් ඔහුට ඉන්න තිබුණා. හැබැයි බෝජෝ වැඩේ අනාගත්තේ පාර්ටිගේට් සිදුවීමෙන්. කොවිඩ් විධිවිධාන මධ්‍යයේ බ්‍රිතාන්‍ය ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුක්විඳිමින් නිරෝධායනය වෙමින් නිවසට කොටුවී සිටිය දී හරි හරියට සවුදිය පුරමින් කා බී විනෝද වෙමින් කොවිඩ් රෙගුලාසි අමු අමුවේ උල්ලංඝනය කරමින් සාද පැවැත්වීම නිසා බොරිස් ජොන්සන් ජාතියේ ම හතුරකු බවට පත්වීමට වැඩිකලක් ගත වූයේ නැහැ. එතැනින් ද නොනැවතී මෙම අර්බුදය සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවට ගල් පැලෙන මුසා දෙඩුවා; විපක්ෂය අසන ප්‍රශ්නවලට පිළිතුරු වෙනුවට කලක වත්මන් විපක්ෂ නායකවරයා අභිචෝදකයකුව සිටිය දී ළමා අපයෝජන නඩුවක බැහැර කළ නීති තර්කයක් සිහිපත් කරමින් විපක්ෂ නායකවරයාට ප්‍රසිද්ධියේ අපහාස කළා.

පාර්ටිගේට් විමර්ශනයට අදාළව බෝජෝට එල්ල වී ඇති චෝදනා සත්‍ය බව තහවුරු වූවා. ඒ අනුව බ්‍රිතාන්‍යයේ චෝදනාවකට වරදකරු වන ඉතිහාසයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට බොරිස් ජොන්සන් පත්වූවා. මේ සමඟ මාධ්‍යයට එකිනෙක පරස්පර විරෝධී ප්‍රකාශ ඔහු සිදුකරා. බ්‍රෙක්සිට් ගැළවුම්කරු ලෙස දක්ෂිණාංශික මාවතින් පැමිණි බෝජෝ දක්ෂිණාංශිකයන්ටම එපාවන්නට පටන් ගන්නේ මෙතැන් පටන්.

තමා ළඟ සිටි විශ්වාසවන්තම රජයේ නිලධාරීන් බොරිස් ජොන්සන් අහිමි කරගත්තා. තම දකුණු අත මෙන් සිටි තමාට හමුවූ ප්‍රභලතම කාන්තාවන්ගෙන් පස්දෙනා ගෙන් එක් අයකු ලෙස බොරිස් ජොන්සන් විසින්ම පිළිගෙන සිටි මුනිරා මිර්සා ගේ නික්මයාම මීට කදිම උදාහරණයක්. බොහෝ දෙනෙකු සිතුවේ පාර්ටිගේට් සිදුවීමෙන් මට්ටු වී බොරිස් ජොන්සන් තම උද්දච්ඡකම අවසන්කර ගත්තා කියා. නමුත් බොරිස් ජොන්සන්ට ඒ සමඟම තවත් ඉල්ලමක් පෑදෙනවා.

ඒ තමයි රුසියානු – යුක්රේන යුද්ධය.

රුසියානු – යුක්රේන යුද්ධය හමුවේ යුක්රේනයට සහාය පළ කිරීමට බ්‍රිතාන්‍යය කටයුතු කළ යුතු බැවින් තමාට හිතවත් මාධ්‍ය ඔස්සේ පාර්ටිගේට් විමර්ශන නවතා දමා තමාට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තම යුතුකම ඉටුකිරීමට ඉඩකඩ ලබා දෙන මෙන් ජනමතයක් නිර්මාණය කිරීමට බෝජෝ කටයුතු කළා. ඇත්තෙන්ම ඔහුගේ ප්‍රයද්නය යම් දුරකට සාර්ථක වූවා. පාර්ටිගේට් ජරමරය නිසා ජාතියේ හතුරකු වූ බොරිස් ජොන්සන් රුසියානු – යුක්රේන යුද්ධය නිසා යළි එක් රැයකින් වීරයකු වූවා.

කෙසේවෙතත්, තම පක්ෂය වූ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයෙන් ඔහුට එරෙහිව ගොඩනැඟුනු විරෝධය දිනෙන් දිනම උත්සන්න වූවා. ඒ වගේ ම ජනතා විරෝධයත් ඔහුට එල්ල වූවා. එරට උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික වශයෙන් යම් කඩා වැටීමක් සිදුවීම, බ්‍රිතාන්‍ය ඛනිජතෙල් සමාගම තනි වර්ෂයක් තුළ ඩොලර් බිලියන ගණනක ලාභයක් උපයන විට එහි වාසිය රටේ ආර්ථිකයට සම්ප්‍රේශණය නොකිරීම මත බ්‍රිතාන්‍ය රජය දූෂිත බවත් සොරකම් කරන බවත් චෝදනා එල්ල වීම ආදී කරුණු රැසක් බොරිස් ජොන්සන්ගේ අවාසියට හිටියා. මේ පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න කරන විට ඔහු ප්‍රශ්නවලට පිළිතුරු නොදී පළා ගියා. අපේ රටෙත් අර යන්නේ නෑ නෑ නෑ මයි කියලා අන්තිමට ජන අරගලයකින්ම පන්නා දැමූ උන්දෑ මෙන් බෝජෝත් යන්නේ නෑ නෑ නෑ මයි කියලා මාධ්‍යයට කියන්න ගත්තා. හැබැයි, ඔහුට විකල්පයක් ඉතිරි නොවීම මත අවසානයේ ඉල්ලා අස්වනවා.

බෝජෝ ගේ යළි පැමිණීම..

වර්තමානයේ ලිස් ට්‍රස් ගේ නික්ම යාමෙන් පසු යළි අග්‍රාමාත්‍යවරයකු පත්වීමට නම්, පාලක පක්ෂය වන බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් සියයකගේ අවම සහාය අවශ්‍ය වනවා. එම සහාය පෙන්වීමට හැකි මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා එළඹෙන ඉරු (23) දින එරට වේලාවෙන් ප.ව. 02 ට කෙටි ලැයිස්තුගත වීමට නියමිතයි. එළඹෙන 28 වෙනිදා දිනුවේ කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මෙන්න මෙහෙම තත්ත්වයකුත් දැන් බ්‍රිතාන්‍යයේ ඇතිවෙමිනුයි තිබෙන්නේ. අපි කාටත් ආසියානු ලෙයට ආකර්ෂණයක් තිබෙනවා. සුළුතර ජනකාණ්ඩවල අයිතිවාසිකම් වෙනුවෙන් කැක්කුමක් තිබෙනවා. බ්‍රිතාන්‍යය කියන්නේත් බහු ජන වාර්ගික විවිධත්වයක් තිබෙන රටක්. එරට පාලක පක්ෂ මන්ත්‍රී රිෂී සුනාක් ට අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් වැඩි ආකර්ෂණයක් තිබෙන බව සමාජ මාධ්‍ය පෙන්නුම් කරනවා.

කෙසේවෙතත්, අර අපේ රටෙත් සිංහල බෞද්ධයන්ගෙන් තොර වෙනත් පැවැත්මක් නැතිය වගේ ජාතිවාදී ප්‍රවාහ තිබෙනවා නේ. අපේ රටේ ඔය අරගලයෙන් පන්නා දැමූ නායකයන් බලය තහවුරු කරගත්තෙත් ඒ ජාතිවාදී ප්‍රවාහ තුළින් ම තමයි.

දැන් බලනකොට ලංකාවයි බ්‍රිතාන්‍යයයි වැඩි වෙනසක් නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. වර්තමානය ගත්තාම බෝජෝ යළි කරළියට පැමිණ තිබෙනවා. තමා නැවත පැමිණෙන බව කියනවා. අර යන්නේ නෑ නෑ නෑ මයි කියලා ජනතාව විසින්ම පන්නා දැමූ අපේ උන්දෑත් දැන් නාවලපිටියෙන් යළි නැඟිටිමු කියලා ඇවිත් තියනවා නේද? ඒ වගේ දැන් බ්‍රිතාන්‍යයෙත් ලිස් ට්‍රස් ගේ නික්ම යාමෙන් පසු බෝජෝ සමඟ නැඟිටිමු කියලා ව්‍යාපාරයක් පටන් ගනිමින් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. රිෂී සුනාක් ට වැඩි ආකර්ෂණයක් තිබුනත්, සුදු හමට හිතපුරා ඩෙඟානටන බ්‍රිතාන්‍යකමට දුඹුරු හම හිමි රිෂී සුනාක්ට වඩා බොරිස් ජොන්සන් තමයි වඩා සුදුසු කියලා හිත යට තිබෙන ජාතිවාදී ගිනිපුපුරු බ්‍රිතාන්‍යයන්ගෙනුත් මතුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා කියලා එරට ජීවත්වෙන අපේ මිතුරන් අපට පවසනවා.

මුළු රටක්ම පවුල් පාලනය ප්‍රතික්ෂේප කිරීම හමුවේ අපේ උන්දෑටත් දැන් කියන්න සටන් පාඨයක් ඉතුරු වෙලා නැහැ. ඒ වගේ බොරිස් ජොන්සන්ට ත් කියන්න සටන් පාඨයක් නැහැ. හැබැයි තම ගජ මිතුරා වන යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි සිහිපත් කරමින් බොරිස් ජොන්සන් ස්වයංවින්දනයක යෙදෙන බව නම් පෙනෙන්නට තිබෙනවා. යුක්රේනයට බ්‍රිතාන්‍යයේ සහාය අවශ්‍ය බව ඔහු දිගින් දිගටම කියනවා. බොරිස් ජොන්සන් යළි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යධුරය සඳහා තරඟ වදිනවා නම් අර මෙහෙ ඈයෝ මළමිනී උඩින් බලයට ආවා වගේ බෝජෝත් තමන්ගේ සටන් පාඨය විදියට යුක්රේන යුද්ධය විකුනන් කෑවොත් පුදුම වෙන්න දෙයක් නැහැ.

කොටි ත්‍රස්තවාදියකු වූවත් ප්‍රභාකරන් ශ්‍රී ලාංකිකයන් පිළිබඳව කියූ එක් සත්‍යයක් තමයි ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් පිළිබඳ මතකය තිබෙන්නේ උපරිම සති දෙකයි කියා. බොරිස් ජොන්සන් එංගලන්තේ මිනිස්සු ගැන හිතාගෙන ඉන්නෙත් මේ අන්දමින් ම ද කියලා දැන් හිතෙනවා. බෝජෝට වඩා ලොකු අගමැතිකම ද, ලැජ්ජා නැතිකම ද කියලා බරපතල ගැටළුවක් මතුවෙනවා.

ඒ සියල්ල මැද බොරිස් ජොන්සන් ඇතුළු සමස්ත දක්ෂිණාංශික ධාරාවම අමතක කළ දේකුත් තිබෙනවා. ඉකුත් කාලය පුරාවටම බ්‍රිතාන්‍ය රජය හැසිරුණු අන්දම මත එරට වැසියන්ට රජය පිළිබඳව තිබෙන අප්‍රසාදය ඉහළ බව සත්‍ය්‍යක්. මෙහි දේශපාලන වාසිය එරට ප්‍රධාන විපක්ෂය වන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට හිමිවෙමින් තිබෙනවා. ඉකුත් මැතිවරණ කිහිපයකදී ම එංගලන්තයේ දක්ෂිණාංශික කුළුණු බිඳ දමමින් ශ්‍රීමත් කියර් ස්ටාමර් ප්‍රමුඛ වාමාංශික විපක්ෂය එය ඔප්පු කර තිබෙනවා. වහා මැතිවරණයකට යා යුතු බවට බ්‍රිතාන්‍ය ජනතාව ඉල්ලා සිටිනවා වගේම විපක්ෂයත් එම මතය පෝෂණය කරමින් සිටිනවා. හිටපු අභිචෝදකයකු වශයෙන් කියර් ස්ටාමර්ට නීතිය පිළිබඳ දැනුමත් තිබෙන නිසා මැතිවරණයක් කැඳවීම සහ දූෂිතයන්ට දඬුවම් පැමිණවීම පිළිබඳ හොඳ අවබෝධයක් ඔහුට තිබෙන බවත් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය සිහියේ තබා ගත යුතුයි.

ප්‍රමෝද් චින්තක පීරිස්

සබැඳි ලිපි;

https://outboundtoday.com/many-govt-figures-resign-amid-objections-to-boris-johnson-uk/

https://outboundtoday.com/boris-johnson-says-he-is-not-worried-over-tory-mps-acting-against-him/

https://outboundtoday.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b7%9d%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b7%85/

https://outboundtoday.com/%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b1%e0%b7%91-%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2%e0%b7%9c%e0%b6%b1/

https://outboundtoday.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%9c%e0%b7%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9d%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%af/

https://outboundtoday.com/the-party-is-not-over-for-bojo/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan