රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22 කොළඹ LNW :
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරයා වශයෙන් එන්.කේ.යූ.රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ .
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් කටයුතු කළ වයි.ජී.ඥානතිලක මහතා 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා තිබේ .
ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා වන එන්.කේ.යූ.රෝහණ මහතා මෙලෙස පත් කර ඇති බව සඳහන් වේ.
තවද, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ජේ. එම්. එස්. ඩී. රත්නායක මහත්මිය 2025-09-21 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වී තිබේ.
එම තනතුරට සුදුසු නිලධාරියකු හඳුනා ගැනීම පිණිස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති බවයි සඳහන් වන්නේ .
ඒ අනුව, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී කේ. ටී. අයි. ප්‍රේමරත්න මහතා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත .
මේ අතර, කුරිකට්ටුවාන් ජැටිය යළි ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ සඳහා අරමුදල් ද වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ .
එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන ,මහාමාර්ග ,නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි මෙසේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ .
අවිස්සාවේල්ල- රත්නපුර දුම්රිය මාර්ගය ඉදිකිරීමට අදාළ සක්‍යතා අධ්‍යනය සිදු කිරීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර ඇත.
එමෙන්ම අදාල සේවා මිලදී ගැනීම් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැති හිමි විය.
නාය යෑමේ අනතුරු සිදුවිය හැකි ස්ථාන හඳුනාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් පිළිබඳව කැබිනට් හමුවේදී කරුණු පැහැදිලි කෙරුණි .
කදුකර ප්‍රදේශවල අවදානම් බෑවුම් ස්ථාවර කිරීම, මතුපිට සහ භූගත ජලවහන රටාව කළමනාකරණය කිරීම ආදී කරුණු ඊට ඇතුළත්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහයෝගයත් ඊට ලැබී තිබේ.
ක්‍රම සංම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී ඇති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
තවද, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා රජයේ සියලුම රහස්‍ය හා අනෙකුත් සියලුම මුද්‍රණ අවශ්‍යතා නියමිත ගුණාත්මක තත්ත්වයෙන්, විවෘත වෙළෙඳ පොළ තරගකාරීත්වයට මුහුණ දෙමින් පූර්ණ රහස්‍ය භාවයෙන් හා වගකීමෙන් යුතුව සපුරාලීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි..
එහෙත්, නවීන තාක්ෂණයෙන් යුතු මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම, යන්ත්‍ර ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් බිඳවැටීම් වලට ලක්වීම, ඉහළ නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවීම, ඉහළ ශ්‍රම භාවිතය වැනි අභියෝග වලට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, නවීන තාක්ෂණික මුද්‍රණ යන්ත්‍ර හා ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම හා එම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම තුළින් මුද්‍රණ කටයුතු වල ධාරිතාව ඉහළ නැංවීම, ආරක්ෂිතව මුද්‍රණ කටයුතු සිදු කිරීමේ වාතාවරණයක් ගොඩ නැංවීම, රාජ්‍ය නොවන අංශ සමඟ තරගකාරීව මුද්‍රණ කටයුතු වල නිරත වීම යන අරමුණු සපුරා ගැනීම පිණිස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර
එකී ව්‍යාපෘතිය 2026-2030 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ .
තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත..
තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2022-03-07 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇති බවයි සඳහන්
වන්නේ .
එකී ආඥාපනතේ ඇතැම් වගන්ති සම්පුර්ණයෙන් සංශෝධනය කිරීමටත්, අලුතින් වගන්ති ඇතුළත් කිරීමටත් යෝජනා වී ඇති බැවින් එම ආඥාපනත තවදුරටත් සංශෝධනය කිරීම වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් හඳුන්වා දීම වඩාත් යෝග්‍ය බව පෙනී ගොස් ඇත.
ඒ අනුව, (282 අධිකාරය වූ) 1931 අංක 1 දරන තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවයි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ .
