වැලිගම සභාපති මහජන නියෝජිතයෙක් වුණාට පාතාල අපරාධකරුවෙක්. මේක පාතාලයින් අතර ආරවුලකින් සිදුවූ ඝාතනයක් – ඇමති විජේපාල

0
272

අද (22) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සිය නිල කාමරයෙහි රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර යනු පාතාල අපරාධකරුවකු බවත් ඔහුගේ ඝාතනය පාතාලයේ විවිධ පුද්ගලයින් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය අනාන්ද විජේපාල මහතා පවසයි.

“වැලිගම සභාපතිතුමා, ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා. එතකොට මේ මහජන නියෝජිතයෙක් බවට පත්වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. නඩු හයක් තියෙනවා. මාතර මහාධිකරණයේ දෙකක් තියෙනවා, කුරුණෑගල මහාධිකරණයේ දෙකක් තියෙනවා, ගාල්ලේත් තියෙනවා. සිරදඬුවම් ලබලා තියෙනවා. අත්හිටුවූ සිරදඬුවමක් මත ඉන්නේ. විශේෂයෙන් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි. දැනට ඉන්දුනීසියාවේ ඉඳලා රැගෙන ඇවිල්ලා ඉන්නවා සංවිධානාත්මක අපරාධකරුවො කිහිපදෙනෙක්. ඔවුන් කරන ප්‍රකාශ හරහා මොහු සතුව යම් යම් අවි ආයුධ තියෙන බව අනාවරණය වෙලා තියෙනවා. විමර්ශන දිගටම පැවැත්වෙමින් තියෙනවා. පහුගිය ජුනි 27 දිනත් ඔහු උසාවියට ගිහින් තියෙනවා. මේවා කරුණු වාර්තා කරලා තියෙනවා විවිධ අපරාධ සම්බන්ධයෙන්. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගැනීම පිළිබඳ අධිකරණයේ නඩුවක් තියෙනවා. මේ විදියට පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අතර ආරවුල් ඇතිවීම පහුගිය කාලෙ තිබ්බා. එවැනි ආරවුලක් තමා මේක”

අමාත්‍ය අනාන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.