රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :
ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයට මුහුණ දෙන රෝගීන්ට ආදරණීය රැකවරණය සලසන ‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් යාපනයේ දී විවෘත කෙරේ.
රෝගයක් හමුවේ ජීවිතයේ අසීරුතම කාල පරිච්ඡේදයට මුහුණ දෙන මිනිසුන්ට වේදනාව අවම කරගනිමින්, මානසික සැනසීමෙන් හා ආදරණීය රැකවරණය මධ්යයේ ගෞරවාන්විතව ජීවිතය ගත කිරීමට අවශ්ය පරිසරය සලසා දීමේ උතුම් මානුෂීය අරමුණින් උතුරු පළාතේ, යාපනය දිස්ත්රික්කයේ චාවකච්චේරි, සරසාලෙයි ප්රදේශයේ ස්ථාපිත කරන ලද ‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (24) පෙරවරුවේ විවෘත කෙරිණි.

සහන සත්කාර අවශ්ය රෝගීන් සඳහා වෙන් වූ පෞද්ගලික කාමර 20 කින් සමන්විත මෙම මධ්යස්ථානය තුළ වේදනා සහන ප්රතිකාර, ඔක්සිජන් ප්රතිකාර සහ පැය 24 පුරා ක්රියාත්මක හෙද සත්කාර ඇතුළු පහසුකම් සලසා තිබේ. රෝගීන්ගේ මානසික සුවය වෙනුවෙන් ආධ්යාත්මික උද්යානයක් ද ස්ථාපිත කර ඇති අතර, වෛද්ය උපදෙස් අනුව පෝෂ්යදායී ආහාර ලබාදීමේ පහසුකම් ද සපයා ඇත.
මෙහි විශේෂත්වය වනුයේ මෙම සේවාවන් අවශ්යතා සහිත රෝගීන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමයි. මෙම ව්යාපෘතිය සඳහා රුපියල් මිලියන 350කට අධික මූල්ය ප්රතිපාදන වැය කර ඇති අතර ඒ සඳහා දේශීය හා විදේශීය දානපතියන්, පරිත්යාගශීලීන් දායකත්වය ලබා දී ඇත.
මෙරට පදිංචිව මිට මේවනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි විශ්රාමික වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්ය,
කේ. දේවකාන්තන් මහතා මෙම මධ්යස්ථානය ඉදිකිරීම සදහා මූලිකත්වය ගෙන ඇති අතර, Comfort Care Home හි නිර්මාර්තෘ මෙන්ම වත්මන් සභාපතිත්වයද දරනු ලබයි.

මෙහිදී පැමිණිසිටි පිරිස අමතමින් අදහස් දැක්වූ වෛද්ය නලින්ද ජයත්ස්ස අමාත්යවරයා නවීන වෛද්ය විද්යාවේ දියුණුවත් සමඟ රෝග රැසක් සුවපත් කිරීමට හැකියාව ලැබී තිබුණද, ඇතැම් රෝගී තත්ත්වයන්හිදී එහි වත්මන් තත්ත්වය අනූව රෝගය සුව කිරීමේ හැකියාව සීමා වන අවස්ථාවලදී රෝගීන්ගේ වේදනාව අවම කරමින් ඔවුන්ට මානසික සැනසීම, ආරක්ෂාව සහ ගෞරවය ලබාදීම සෞඛ්ය සේවයේ ඉතා වැදගත් මානුෂීය වගකීමක් බව ද සදහන් කර සිටියේය.
පිළිකා සහ අවයව අකර්මණ්ය වීම වැනි රෝගී තත්ත්වයන්හි අවසන් අවධියට පැමිණි රෝගීන් දැඩි ශාරීරික පීඩාවන්ට මුහුණ දෙන අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මානසික හා ආර්ථික වශයෙන් විශාල බරක් දැරීමට සිදුවන බව අමාත්යවරයා පෙන්වා දුන්නේය. එවැනි පසුබිමක රෝගීන් තනිවී හෝ අසරණභාවයට පත්වී නොසිටින පරිදි, ඔවුන්ගේ ශාරීරික, මානසික හා ආධ්යාත්මික අවශ්යතා කෙරෙහි අවධානය යොමු කරමින් සැනසිලිදායක පරිසරයක රැකවරණය සැලසීමේදී සහන සත්කාර සේවාවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බව ද සඳහන් කළේය.

සෑම පුරවැසියෙකුටම සාධාරණ හා සමාන සෞඛ්ය සේවාවක් ලබාදීම රජයේ ප්රමුඛ අරමුණක් බව සඳහන් කළ අමාත්යවරයා, ජනතාවගේ සමස්ත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සෞඛ්ය පද්ධතිය ශක්තිමත් කිරීමේදී රජයේ මැදිහත්වීමට අමතරව ප්රජාවගේ සහයෝගය ද අත්යවශ්ය බව පෙන්වා දුන්නේය. රෝගීන්ට ප්රතිකාර ලබාදීම පමණක් නොව, ඔවුන්ගේ මානසික සැනසීම සහ මනුෂ්ය අභිමානය සුරැකීම ද සෞඛ්ය සේවයේ අත්යවශ්ය අංගයක් බව ද අවධාරණය කළේය.
මෙම සහන සත්කාර මධ්යස්ථානය ඉදිකිරීම සඳහා අවශ්ය අක්කරයකට අධික භූමි ප්රමාණය නැසීගිය ගුරුවරයකු වූ කනගසබායි මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් පරිත්යාග කර ඇති බවත් සිහිපත් කල අමාත්යවරයා එම පරිත්යාගය මෙම මානුෂීය කාර්යය යථාර්ථයක් බවට පත් කිරීමට මූලික අඩිතාලමක් වූබවද පැවසීය.
මධ්යස්ථානයේ නිර්මාතෘවරුන් වන විශේෂඥ වෛද්ය කේ. දේවකාන්තන් මහතා සහ කතිර්ගාමනාදන් බාලේන්ද්රන් මහතා ඇතුළු මෙම කාර්යය වෙනුවෙන් කැපවූ සියලු දෙනාගේ දායකත්වය අගය කළ අමාත්යවරයා, එක්සත් රාජධානියේ මාර්ක් පෙනී මහතා සහ කෙලී කගී මෙනවිය මෙන්ම කැනඩාවේ වෙසෙන වෛද්ය වරගුණන් මහතා ඇතුළු දේශීය හා විදේශීය පරිත්යාගශීලීන්ගේ සහයෝගය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ජීවිතයේ අසීරුතම අවධියක පසුවන රෝගියෙකුට අවශ්ය රැකවරණය අහිමි නොවිය යුතු බව අවධාරණය කළ අමාත්යවරයා, මෙවැනි මධ්යස්ථාන මඟින් රෝගීන්ගේ පවුල්වලට දැරීමට සිදුවන ආර්ථික හා මානසික බර අවම කිරීමට හැකි වන බව සඳහන් කළේය. එමෙන්ම, දිගුකාලීන සහ සහන සත්කාර අවශ්ය රෝගීන්ට වඩාත් සුදුසු පරිසරයක සේවා සැලසීම මඟින් රජයේ රෝහල්වල පවතින සෞඛ්ය පහසුකම් හදිසි ප්රතිකාර අවශ්ය රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂමව යොදා ගැනීමට ද සහායක් ලැබෙන බව ද පෙන්වා දුන්නේය.
මෙම මධ්යස්ථානය උතුරු පළාතට පමණක් සීමා නොවී, දිවයිනේ අනෙකුත් ප්රදේශවල ද මෙවැනි මානුෂීය සහන සත්කාර සේවා ස්ථාපිත කිරීමට ආදර්ශයක් වනු ඇතැයි ද අමාත්යවරයා මෙහි දී විශ්වාසය පළකර කළේය. ජීවිතයේ දුෂ්කරම අවස්ථාවන්හිදී පවා කිසිදු රෝගියෙකු රැකවරණයෙන් හා මානුෂීය සැලකිල්ලෙන් තොර නොවිය යුතු බව අවධාරණය කළ අමාත්යවරයා, මෙම උතුම් කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ සහයෝගය ලබාදීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම ව්යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනා වෙත සමරු තිළිණ ප්රධානය කිරීමද මෙහිදී සිදුවිය.


