*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මං කොච්චර වාසනාවන්ත ද කියලා දැනෙන්නෙ, නොදන්න කෙනෙක් මට මිස් කියලා කතා කරන කොට: රමෝනා පෙරේරා

නිශ්මං රණසිංහ

කොළඹ (LNW): අපි සාමාන්‍යයෙන් භාහිරව මිනිස්සු ස්පර්ශ කර යම් යම් නිගමනවලට එළැඹෙනවා. ඒවා යථාර්තය නොවෙන්න පුළුවන්. සමහර විට දකින සිරුරට වඩා වෙනස් ආත්මීය වෙනසක් ඔවුන්ගේ ජීවිතය ලෙස පැවතිය හැකියි. ඒක දැනෙන්න ගත්තම අපි උත්සාහ කරන්නෙ අපේ ඇස රැවටෙන එක වළක්වන්න ඔවුන්ගේ හිත් රවට්ටගන්න බල කරන එකයි. සමාජ බලහත්කාරයට දැඩිව ලක්වන පිරිසක් හැටියට සංක්‍රාන්ති ලිංගික අපේක්ෂාවෙන් පසුවන පිරිස හසුවන්නේම ඔවුන්ගේ නිදහස තමන්ගේ උවමනාවේ හැඩයට වෙනස් කර ගන්න උත්සාහ කරන මිනිසුන්ගේ අවිද්‍යාත්මක පසුබිම මතයි.

මේ සටහන එවැන්නියක සමග වුවත් ඇය ඉතා අපූරුවට සමාජ අභියෝගය ජයගැනීම වෙනුවෙන් මාර්ගය එළි පෙහෙළි කර ගත් තැනත්තියක්.පරිස්සම් සහගතව දැණුමෙන් සහ අවබෝධයෙන් යුක්ත සමාජයේ ගෞරවයට ලක්විය යුතු වියත් බව පසක් කර ගැනීමට සමත් වූ චරිතයක්. නමින් රමෝනා හඩාරා පෙරේරා වූ ඇය රසායනික විද්‍යාඥවරියක්. නිරූපන ශිල්පිණියක්. විවිධ වූ හැකියාවන් සහිතව තමන්ගේ කියන ව්‍යාපාරික අනන්‍යතාවයක් සහිතව හෙට ලෝකය තුළ ඉඩක් තමන්ගේ නමට වෙන් කර ගන්නට සිහින දකින්නියක්.

“මට තේරෙන වයසෙ ඉදලම මගේ සිරුර ඇතුළෙ දැණුන ගැහැණියව එළියට ගන්න තියෙන උවමනාව වගේම ඒකට තියෙන බාධක තේරම් ගන්නත් පුළුවන් වුණා. ඒ නිසා සමහර විට මගේ සිරුරෙන් එළියට එන කාන්තා ස්වරුප බොහෝ වෙලාවට මං යම් පාලනයකට නතු කර ගත්තා.මට ඕනි වුණා ඉහළ අධ්‍යාපනයක් ලබන්න.හොද රැකියාවකට සුදුසුකම් සපුරා ගන්න.ඒකට බාධා වන විදිහෙ අනවශ්‍යය පිඩනයක් ඇති කරගන්න මං කැමති වුණේ නැහැ.”

ඇය ජීවිතයේ තමන්ගේ ආත්මය සොයා යෑමේදී බොහෝ දෙනෙක්ට මුහුණ දෙන්නට වන සමාජමය ගැටළු මඟහැර යන්නට කල්පනාකාරී වන්නේය.

“හුඟක් දෙනෙක්ට මේ තත්ත්වය ඇතුළෙ හොද ඉගෙනුම් පරිසරයක් තියා ගන්න අමාරුයි. ගුරුවරුන් පවා වෙනස් කොට සළකනවා. ඒ පීඩනය නිසාම හොඳ මානසික මට්ටමකින් වැඩ කරන්න හම්බ වෙන්නෙ නැහැ. ඒ වගෙම තමන්ගෙ සිහිනයට යන්න ආර්ථික වශයෙන් ශක්තිමත් නොවුණම හුඟක් අයට තමන්ගේ සිහිනය රැක ගන්න සහ ජයගන්න ලිංගික ශ්‍රමිකයන් වෙන්න සිද්ධ වෙනවා.මට හිතෙන්නෙ මේක සමාජය විසින් අත් කර දෙන ඉරණමක්. නමුත් මට ඕනි වුණ ගෞරවණිය කාන්තාව ඒ තත්ත්වයට පත් කරන්න අවශ්‍යය වුණේ නැහැ. ඒ නිසා මම අධ්‍යාපනය තුළින් මේ අභියෝගය ජයගන්න තීරණය කළා. ඒ නිසා බොහොම ඉවසීමෙන් මං මගේ හීනය වෙනුවෙන් කැප වුණා.”

ඇය පවසන්නේ පාසල් පද්ධතිය තුළින්ම ස්ත්‍රී පුරුෂභාවය හදුන්වා දීමට අමතරව විද්‍යාත්මකව සාක්ෂි සහ සාධක සහිත ඇති සංක්‍රාන්තික ලිංගිකත්වය ගැන කිසිඳු ආකාරයක අධ්‍යාපනයක් ලබා නොදිමෙන් එවැනි මිනිසුන්ව සමාජය ඉදිරියේ විශාල මැජික් එකක් වීමේන්ම අපහාසයට, අපවාදයට, ගැරහීමට ලක්වීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික අයිතියට වන බලපෑම මෙන්ම ඔවුන්ට සිද්ධවන සමාජීය වශයෙන් පහත්කොට සැළකීම ද වෙනස් කිරීම ආරම්භ කළ හැක්කේ පාසලෙන්ම බවය.

රමෝනා තව දුරටත් පවසන්නේ තමන් තුළ සිටින ගැහැණිය කුඩා කාලයේ සිටම සිය ආත්මය වසින් මතු කරන බවකි. හරස් විලාසනියකවීමට දක්වන කැමත්ත එහි එක් අවධියක් වුව ද, සියලු හරස් විලාසනියන් එසේ නොවන බව ඇය පවසයි.

“සමරුන්ට ඇදුම් ඇදීමේ ආශාව විතරක් තියෙන්න පුළුළුන්. හැබැයි ට්‍රානස් වෙන්න හිතන කෙනෙකුටත් ගැහැණු ඇඳුම් ආයිත්තම් එක්ක ගැවසෙන එක ට්‍රාන්ස්වීමේ හීන එක්කම පවතිනවා. ඒ වගේම ට්‍රාන්ස් වෙන්න ගියහම මුල්වරට මානසික වෛද්‍යවරයාගේ ප්‍රතිකාර යටතේත් ගැහැණු ඇඳුමෙන් සමාජයේ පෙනී සිටින්න තියෙන ශක්තිය සහ විශ්වාසය ගැන කාලයක් තිස්සෙ සළකා බලනවා.”

රමෝනා පවසන්නේ ගැහැණියක් ලෙස ජිවත්වීමට ඇති ආශාව වගේම තමන් ආශක්ත වන්නේ පිරිමි සිරුරුවලට වීම ද සාමාන්‍ය තත්ත්වයක් වූ බවයි. නමුත් එය කුතුහලය දනවන වයසේ කාන්තාවක වීමේ සිහිනය සහිත තමාට පමණක් නොව සම වයසේ වෙනත් පිරිමි ළමුන්ට ද පොදු වූ දෙයක් බව රමෝනා පවසන්නීය. පිරිමි පාසලක ඉගෙනුම ලැබූ රමෝනා මෙන්ම සම වයස් යහළුවන් ට උසස් පංතිවල අයියලා ක්‍රෂ්ව සිටි බව ඇය සිහි කරන්නීය.

“සමහර වෙලාවට එයාල ගේ වෙන්න පුළුවන්. බයි වෙන්න පුළුවන්.නැත්නම් වයස එක්ක ඇති කරන කුතුහලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං වගෙ ට්‍රාන්ස් ඩ්‍රීම් එකේ මුල ඉන්නවා වෙන්නත් පුළුවන්. මම හැබැයි එහෙම ප්‍රේමයක පැටළුනේ ඒ ලෙවල් ක්ලාස්වලදි, ඒක හරිම ගෞරවණිය විදිහට පැවතුණ දෙයක්. අදත් අපි එකිනෙකාට ගෞරව කරනවා. ඔහු මෑතක විවාහත් වුණා”

ඇය අතීතයේ සිට වර්ථමානයට පැමිණෙන මාර්ගයේ අපූරු අත්දැකීම් ගොන්නක් හමුවන්නේ සරසවි ජීවිතය තුළය. ඇය රජයේ සරසවියට පිවිසීමට කල් මැරීමට ප්‍රථම පෞද්ගලක සරසවියකට පිවිසුණාය.

“මං ගත්ත හොඳ තීරණයක් ඒක.සමහර වෙලාවට රජයේ සරසවියකට ගියානම් මගේ වෙනස රැග් එකේදී විශාල විදිහට පීඩනයකට ලක්වෙන්න තිබුණා.උදාහරණයකට හිතන්න මගේ හිත තුළ ගැහැණිය ඒ අයට පේන්නෙ නැහැනෙ. මට ෂර්ට් එක ගලවන්න කිව්වත් මගේ ගැහැණු හිතට ඒක කොච්චර දරුණු අතවරයක්ද? මගේ කැම්පස් එකේ ඒ තත්ත්වය වුණේ නැහැ. විශේෂයෙන් මට එතනදි හොද මිතුරියන් පිරිසක් හමු වුණා”

රමෝනාගේ පාසල් ජීවිතය ගෙවෙන්නේ පිරිමි පාසලක බැවින් ඇය භාහිර මිතුරියන් ඇසුරට වැටෙන්නේ විශ්ව විද්‍යාලයේදී ය. ඒ වන විට ඇය සිය ජීවිතයේ විඳින්නට අහිමිව සිටි සිහින හඹා යන කාලයේය. ඇය නිවසේදීම සංය සංගීත භාවිතයේ සිහිනය වෙනුවෙන් පියානාව සමඟ බැදී උන්නාය. උගත්තාය. නමුත් ලතින් සහ බෝල් රූම් නර්ථන සිහිනය ඇය සැබෑ කර ගන්නේ විශ්ව විද්‍යාල සමයේ ය. ඇයගේ සමාජ පසුබිම තුළ නැටිල්ල වැදගත් දෙයක් හැටියට නොසැළකූ බැවින් ඔහු නටන්නෙක් බවට පත්වන්නේ ඇය බවට පරිවර්ථනය වීමේ සිහිනයට තදින්ම එලැඹ සිටින අවදියේය.

“යෙහෙළියන් එක්ක තමයි මං වැඩිපුරම ඒ කාලේ ගත කළේ. මගේ අදහස්,කැමත්ත මේවා සමපාත වුණේ ඔවුන්ගේ අදහස් එක්ක. පිරිමි හැඩය තිබුණට මගේ තියෙන ගැහැණු සිතුවිල්ල නිසා ඔවුන්ට මං සමග සමීප ඇසුර බය වෙන්න හේතුවක් වුණෙත් නැහැ. සමහර ඇඳුම් ගන්න ගියේ මා එක්ක.පිට් ඔන් කරල මට පෙන්නන්නෙ. ඒ තරම් අවබෝධයක් ඔවුන් තුළ තිබීමම මගේ ගැහැණු විශ්වාසය වර්ධනය කරන්න් හේතුවක් වුණා.”

ඇය අවසානයේ සිය ජිවිතයේ බලාපොරොත්තුවකට වඩා බලාපොරොත්තු ගොඩකට ඉවසීම සහ සංයමය හරහා ළඟා වන්නීය. හොද අධ්‍යාපනික සුදුසුකමක් ඇති සහ සහ හොඳ රැකියාවක් ඇති ඉහළ සමාජය ඇසුරු කරන්නෙක් ලෙස සෙමින් සිය ස්ත්‍රීත්වය සොයා යන්නට ඇයට ආශිර්වාදයක් එකතු කර ගන්නට හැකි වන්නේය.

“මං මගේ ඉලක්කයට හෙමින් ආවා. හොද වෘත්තියක් කරලා උපයන ගමන් ඒ හිනයට අවශ්‍යය වියදම් දරන්න පුළුවන් තත්ත්වයට පත් වුණා. හුඟ දෙනෙක්ට එහෙම බැරිවෙන්නේ ඔවුන් ඉගෙන ගන්න ගියහම එල්ලවන බාධාවන් නිසයි. නමුත් දැණුම තියෙන සමාජයකට යන්න අවශ්‍යය අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙනවනම් අපිට මේක සැරට දැනෙන එකක් නැහැ. මගේ ආයතනයටනම් මේක මැජික් වුණේ නැහැ. ඔවුන් සියලු දෙනාම මාව ඉහළින් පිළිගත්තා. දැනටත් පිළිගන්නවා”

“ගැහැණියක් වීමට යාමේදී නිසි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළ යුතු වෙනවා.සමහර වෙලාවට ට්‍රාන්ස් වූ කෙනෙක්ගේ සහ ට්‍රාන්ස් වෙමින් ඉන්න කෙනෙක්ගේ ඖෂධ වට්ටෝර් භාවිතා කරලා එහෙම කරන්න සමහර අය උත්සාහ කරනවා. ඒක නරක ප්‍රතිපල අත් වෙන්න පුළුවන් භයානක දෙයක්. විධිමත් විදිහට මනෝ වෛද්‍යවරයාටත්, ඉන් පසුව හෝමොන සම්බන්ධ විශේෂඥයෙක් යටතේත් ප්‍රතිකාරවලට යොමුවීම තමයි වැදගත්. දැනට රජයෙන් ඒ සඳහා පහසුකම් සළසලා තිබුණට ඉල්ලුමට සරිලන විදිහට පහසුකම් මදිකමක් තියෙනවා. නමුත් පවතින තත්ත්වය හොදයි. ඒත් මට පෞද්ගලිකව ඒ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න හැකියාව ලැබුණා. හොද අධ්‍යාපනයක් එක්ක හොඳ රැකියාවකට යන්න පුළුවන් වුණ නිසා”

ඇය නිරන්තරයෙන්ම සිහි කරන්නේ ඉහළ අධ්‍යාපනික අවශ්‍යයතාවයේ වැදගත්කමය. ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයට බාධා කරන ප්‍රතිකාර මෙන්ම ඊස්ට්‍රජන් හෝමෝනය මේ සිහිනය සැබෑ කර ගැනීමෙන් නොනැවතී ඒ තුළ දිගටම රැදී සිටින්නට ජීවිත කාලය පුරාම ගත යුතු බව රමෝනා පෙන්වා දෙන්නීය. පහසු වැඩක් නොවුණ ද එය කෙනෙක්ට තමන්ට තමන්ට වෙන කෙනෙක් ලෙස පෙනී සිටීමේ දුෂ්කරතාවයට වඩා මහන්සියෙන් හෝ තමා ලෙස පෙනී සිටීමේ වැදගත්කම වෙනුවෙන් කළ යුතුව ඇතැයි ඇය පවසන්නීය.

“මං හරි වාසනාවන්තයි.මගේ රැවුල වැවීමේ කාරණය ඉතාම අඩු ලේසර් ප්‍රතිකාර ප්‍රමාණයකින් නිමා කර ගන්න පුළුවන් වුණා. එක ප්‍රතිකාර අවස්ථාවකට දැන් මං හිතන්නෙ රුපියල් විසි දහසකට කිට්ටු ගණනක් යනවා. ඒ වගෙ විශාල ප්‍රතිකාර ප්‍රමාණයක් වරින්වර ගන්න වෙනවා. ඒ වගෙම ප්‍රතිකාර සඳහාත් වියදම් කරන්න වෙනවා. ගැහැණියක් ලෙස පෙනි සිටින එකත් පහසු වියදමකින් කරන්න බැහැ. මේවා ආත්මීය වශයෙන් අවශ්‍ය, ඒ වගේම හදවතට කතා කරන බලපෑම්. මට ඒ වුණාට ගැහැණු පෙණුම ඒ හැඩතල ඉක්මණින් ප්‍රතිකාර හරහා ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගෙම මං ඒක වෙනුවෙන් හැම මොහොතම වෛද්‍ය උපදෙස් මතම වැඩ කරමින් කැප වුණා.”

ඇය නැවතත් පෙන්වා දෙන්නේ මේ ආත්මය රැක ගන්න ඉහළ වෘත්තියකට පිවිසෙන්න නොහැකි අධ්‍යාපන මට්ටමකට ළඟාවෙන්න සමාජය විසින්ම ඇති කරන බලපෑම නිසා අසරණ වන සංක්‍රාන්තිකයන් බොහෝ දෙනෙක්ට ලිංගික ශ්‍රමිකයන් වෙන්නට සිඳුවන බවයි. ඒ සාපාරාධි සමාජ බලපෑමට මුහුණ දෙන්න ඉවසීමෙන් අධ්‍යාපනය ගැන අවධානය යොමු කිරීම ඉහළ රැකියා අවස්ථාවකට පිවිසීම වැනි කාරණා සඳහා සමාජයට අභියෝග කර දරා ගැනීම එකම විසඳුම බව අවබෝධ කරගෙන සංක්‍රාන්තික උවමනාව ඇති අයද කටයුතු කළ යුතුව ඇතැයි ද රමෝනා පෙන්වා දෙනවා.

“සමහර සමාජ බලපෑම් කුරිරුයි. මරණය සහ මාරාන්තික පහර දීම් දක්වාත් ගිය අවස්ථා තියෙනවා.ඒක අවිද්‍යාව නිසා වෙන දෙයක්. ඒත් අද වන විට මේ තත්ත්වය ගැන වෙනදට වඩා ධනාත්මක විදිහට සිතීමේ ප්‍රවනතාවයක් තියෙනවා.විශේෂයෙන්ම කොඩි ගහ යට නාට්‍යය වගේ දේවල් මේ ගැන සමාජයට කරන බලපෑම හොඳ එකක්. ලංකාව ඇතුළෙ එහෙම අධ්‍යාපනයක් නැතත් LGBT කියන දේ සමානව ගන්න ලෝකය දකින්න මිනිස්සුන්ට තාක්ෂණයෙ බලපෑම ලැබිලා තියෙනවා.”

“මට ආසයි අම්මා කෙනෙක් වෙන්න. ඒත් ගර්භාෂයක් නැති නිසා ඒක බැරි වෙයි. සමහර වෙලාවට ඒක අනාගතයෙදි හැදෙයි. අපිට නැතත් ඒක හෙට කෙනෙක්ට හරි ලැබෙනවනම් සතුටුයි. ඒ මට ඒකෙ දුක දැනෙන නිසා.ඒත් නල දරු හෝ අරං හදාගන්න තැනකට මං යන්න කැමති නැහැ. මේ සමාජය කොයි තරම් කාලෙකින් අපි දිහා සියයට සියයක් සාමාන්‍ය මට්ටමෙන් බලන්න පටන් ගනියිද කියලා හිතන්න බැරි නිසා මං ට්‍රාන්ස් කියලා දැන ගත්තම මං ආදරේ කරන දරුවා මට වෛර කරන්න පුළුවන්. ඒත් මං දරුවන්ට ආදරෙයි.පුළුවන් දේවල් අම්මා කෙනෙක් කියලා හිතාගෙන දරුවො වෙනුවෙන් කරනවා”

පැය කිහපයක සාකච්ඡාව අතර තුර ඇයගේ ඇස් දිළිසෙන්නට ගත් පළමු මොහොත එය විය.නමුත් ඒවා ඇයගේ කොපුල් දිග ගලා හැලෙන්නට නොදී වළක්වා ගනිමින් වචන වෙනත් ගියරයකට මාරු කළාය.

“මං ගැහැණියෙක් විදිහට මා තුළින් දකින්න ප්‍රාර්ථනා කරපු සිහිනය සැබෑ වීම ගැන මං ඉන්නෙ පුදුම ආඩම්බරයකින්. මම ඒක කළා. මං දිණුම් කියන තැන මං ඉන්නවා. ඒත් වැඩියම මට සතුටු දැනෙන්නෙ මාව භාහිර සමාජය ගැහැණියෙක් කියලා පිළිගන්න එකට. හිතන්න මං මොනව හරි දෙයක් ගෙන්න ගන්න, එහෙම නැත්නම් ටැකසියකට කතා කළහම මගේ කටහඩ ඇහුණම මට මිස් කියන එක මං ජීවිතේ ලබපු ලොකුම වාසනාව.”

ඇයට කාන්තා ආත්මයේ තව පියවරක් ගොස් කාන්තා ලිංගේන්ද්‍රියක් සකසා ගැනීමට අවශ්‍යයතාවය ඇත. එහෙත් එහි ඇති අවිනිශ්චිත තත්ත්වය නිසා කරදරයක් වේ යැයි යන බියෙන් තමාගේ ප්‍රේමවන්තයාම එය වළක්වන්නේය.

“එයාගේ ආදරේ මාරයි. එයාට මගේ කාන්තා ආත්මය මිසක් කාන්තා ලිංගය අවශ්‍යය නැහැ කියන එක ලොකු කැපකීරීමක්. ආදරයක් නේද?”

එවර ඒ හඬට එකතු වන බිඳුණු බව පන ගැහෙන්නේ දුකින් නොවේය. උතුරා යන සතුටෙන්ය.

“මට සම්පූර්ණ ගැහැණියක් වෙන්න හොඳම විශ්වාසම තැනකින් ඔපරේෂන් එක කරන්න ආසාවක් නැත්තෙම නැහැ. ඒකට දැන් තියෙන තත්ත්වය අනුව විශ්වාස තැනක් තායිලන්තයෙන් හරි ඉන්දියවෙන් හරි හොයා ගන්න වෙනවා. ඒකට අවශ්‍යය සල්ලි හොයා ගන්න එක. මැරෙනකම් ගැහැණියකගේ ලක්ෂණ මේ විදිහටම පෙණුමෙ ඉදලම තියා ගන්න බෙහෙත් ගන්න.සැපට මට මගේ සහකාරයත් එක්ක ජිවත්වෙන්න මගේම බ්‍රෑන්ඩ් එකක් ලෝකයට දාපු ව්‍යාපාරිකාවක් විදිහට ජීවිතය නිමා කරන්නයි මං ආස.”

ඇයට ඒ කිසිවක් නොහැකි නොවනු ඇත.ඒ සිය උවමනාවන් දෙසට ඇය දුවන්නන් වාලේ දුවන්නියක් නොවන බැවින්ය. සැළසුමකට සංයමයෙන් සහ විශ්වාසයෙන් වැඩ කරන්න අවශ්‍යය ඉවසීම සහ කැපවීම ඇයට ඕනෑ තරම් ඇත. ඉතිං රමෝනා දැනටමත් ඒ අතින් බ්‍රෑන්ඩ් එකක් ලෙස ස්ථාවරව සිටින්නීය. ඇයට ජීවිතයේ අන් සියලු සිහින ද යථාර්තයක් කර ගන්නට ඇවසි සවියත් දිරියත් සඳහා අපි හදවතින්ම සුබ පතමුූ.

අපි අවසනට ඇය සංක්‍රාන්තිභාවය අපේක්ෂා කරන අය වෙනුවෙන් කියූ මේ පණිවිඩය සටහන් කරන්නෙමු.

“මේ හැම දෙයක්ම වෙන්න ඕනි වෛද්‍ය විද්‍යාත්මකව. හිතුමතේට ප්‍රතිකාරවලට යන්න එපා. මේ වියදම තමන්ට දරා ගන්න පුළුවන් මට්ටමේ රැකියාවක් සඳහා සියල්ල දරාගෙන ඉවසන්න පුරුදුවෙන්න. බැහැයි කියන දේ බොරු කරන්න. දැණුමෙනුත් අන් අය හා සමාන වෙන්න. ඒ වගෙම මේ වන විට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීම උදෙසා සෞඛය අමාත්‍යංශයේ නිර්දේශය ලබා දුන් චක්‍රලේඛයක් පවතින අතර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ ස්ත්‍රී පුරුෂභාවය සංශෝධනය කිරිම සඳහා වෛද්‍ය නිර්දේශයන් අනුව කටයුතු කිරීම සඳහාද වැඩ පිළිවෙලක්ද තිබෙනවා. ඒ නිසා ඔබ පිරිමියෙක් ලෙස කාන්තාවක් බවට පත්වීම, හෝ කාන්තාවක් ලෙස පිරිමියෙක් බවට පත් වීම සෞඛ්‍යමය වශයෙන් සහ නෛතික වශයෙන් පිළිගත් කරුණක් බව දැනගෙන ඒ සඳහා ඔබ දැණුමෙන් සහ ආර්ථිකයෙන් පොහොසත් වීම සඳහා කටයුතු කරන්න.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan