දකුණු ආසියාවේ කාන්තා සහ පිරිමි වේග කිරුළු ශ්‍රී ලංකාවට

0
147

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 25,  කොළඹ LNW:

ඉන්දියාවේ රංචි හී දී ක්‍රියාත්මක දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සතුව රන් පදක්කම් හතරක් තිබෙනවා.උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන් බිහිවීමේ ගෞරවයත් සමඟ කාන්තා සහ පිරිමි තුන් පිම්ම ඉසව්වල රන් පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වීම එහිදී කැපී පෙණුනා.
ශ්‍රී ලංකාව ඉදිරියේ රන් පදක්කම් සටහන් විම ආරම්භ කිරීමේ ගෞරවය හිමි වුණේ පසිඳු මල්ෂාන් ට යි.ඔහු තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 16.19 ක දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.


මීටර් 100 කාන්තා සහ පිරිමි සූරතා දෙකම ශ්‍රී ලංකාව නමට ලියවුණේ දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතා වාර්තා පොත් අලුත් කරමින් වීම කැපී පෙණුනා.ඒ අතරින් කාන්තා මීටර් 100 ඉසව්ව ජය ගත් සෆියා යමික් මූලික තරගවලදී වාර්තාව අලුත් කරමින් නොනැවතී අවසන් තරගයේදී යළිත් වාර්තාව අලුත් කිරීම කැපී පෙණුනා.අවසන් තරගයේදී සෆීයා වාර්තා කළ කාලය වූයේ තත්පර 11.53 ක්.එහි දෙවැනි තැන තත්පර 11.72 න් ඉසව්ව නිමා කළ අමාශා ද සිල්වා ට හිමි වුණා.මෙම ඉසව්වේ දක්ෂයෙකු ලෙස වැඩි අවධානයක් සහ වරප්‍රසාදයක් හිමි නොවුණ ක්‍රීඩිකාවක වන සෆියා,ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩිකාවන් අතර සාමාන්‍ය ධාවන ඇඳුමෙන් තරග වඳින මුස්ලිම් ජාතික ක්‍රීඩිකාවක වීමත් ඇයගේ ක්‍රීඩාවට ඇති නිර්භීත කැපවීම මතු කර පෙන්වන ආදර්ශවත් උඩු ඟං බලා පිහිනීමක්.


පිරිමි මීටර් 100 ඉසව්ව තුළ නව ලාංකේය වේග තරුව චමෝද් යෝධසිංහ යළිත් තත්පර 10.30 සීමාව සටහන් කළේ ඉසව්වේ උළෙල වාර්තාවට සිය නම ඇතුළත් කරමින්.වඩා වේගවත් තරග අත්දැකීම්වලට පිවිසිමේ වැදගත්කම තේරුම් නොගැනීම නිසා මාර්ගය සකස් කර නැති චමෝද් අඛණ්ඩව මෙම වේග සීමාව කළමණාකරණය කරමින් අඳ නෙත් ඇති බලධාරීන්ට කියන්නේ වචනවලට පෙරළන ක්‍රීඩාවේ ආදරයේ ක්‍රියාපදය වචනවලට වඩා වෙනස් වුණොත් වචනවල ඇති ආදරයට ඇත්ත වටිනාකමක් දිය හැකි බවයි.චමෝද් සමඟ අවසාන තරගය දක්වා පැමිණි සඳුන් දියලවත්ත තත්පර 10.64 න් ඉසව්ව නිමා කරමින් සිව්වැනි තැනට පත් වුණා.


මධුශානි හේරත් කණිෂ්ඨ අංශයේ රන් නෙලීමේ ක්‍රියාවලිය ජ්‍යෙෂ්ඨ අංශයට ද ගෙන එමින් තෙවන දකුණු ආසියාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව උළෙල වාර්තාවකට හේතු වූ මීටර් 13.26 ක දක්ෂතාවයක් දක්වමින්.එම ඉසව්ව නියෝජනය කළ ශෂිනි උපේක්ෂා ද මීටර් 12.79 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව – 3:20.85 කාලයක් වාර්තා කර, කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක, කල්හාර ඉන්දුප සහ සයුරි මෙන්ඩිස් යන සිව්දෙනා ශ්‍රී ලංකාව ඊයේ දවසේ දිනා ගත් තෙවන රිදී පදක්කම ලබා දුන්නා ඊට පෙර මීටර් 5000 පිරිමි ඉසව්වෙන් වික්නරාජ් වක්ෂ විනාඩි 14:23.21 කාලයක් වාර්තා කරමින් දිනා දුන් රිදී පදක්කමත් නිසා, ශ්‍රී ලංකාව පළමු දිනය නිමා වන විට රිදී පදක්කම් තුනක් දිනාගෙන සිටියා.


.එසේම පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකාවේ පදක්කම් සටහන ඉහළ නංවමින් ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබුවා.
යගුලිය දැමීම පිරිමි
සුසීන්තිරකුමාර් මිතුන් රාජ්– මීටර් 14.68
යගුලිය දැමීම කාන්තා
ඔවිනි චන්ද්‍රසේකර – මීටර් 13.03
ශ්‍රී ලංකාව කාන්තා මීටර් 5000 ඉසව්වේ ජාතික වාර්තාව මෑත කාලයේ දෙවරක්ම අලුත් කළ රසාරා විජේසූරියගෙන් පදක්කමක් අපේක්ෂා කළ ද විනාඩි16:47.21 න් ඉසව්ව නිමා කළ ඇයට හිමි වුණේ සිව්වන තැනයි.
පළමු දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාවේ පදක්කම් අස්වැන්න රන් 4 ක් සහ රිදී සහ ලෝකඩ තුන බැඟින් සඳහන්ව තිබුණා.