කොළඹ LNW:ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්යාපාරය ඇතුළු ග්රාමීය සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම සඳහා 2026 වසරේදී රජය විසින් රුපියල් මිලියන 180,000ක පමණ ප්රතිපාදන වෙන් කර ඇති බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්රකාශ කළේය.
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ අද (26) පෙරවරුවේ කැලණිය ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
ප්රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ කැලණිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ අරමුණින්, ස්වයං රැකියාවක් ලෙස නිමි ඇඳුම් නිෂ්පාදනයේ නිරත වන පුද්ගලයන්ට ඒ සඳහා අවශ්ය පහසුකම් සහ උපකරණ ලබාදීම මෙහිදී සිදු කෙරිණි.
ප්රජා ශක්ති වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් 7830ක් ක්රියාත්මක කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන් කළේ, ස්වයං රැකියා සඳහා අවශ්ය උපකරණ ලබාදීම ප්රජා සංවර්ධන සභාවල යෝජනා හා නිර්දේශ මත පදනම්ව, ව්යවස්ථාපිත ග්රාමීය සමිති හරහා සිදුකරන බවයි.
මෙම උපකරණ මහජන මුදලින් ලබාදෙන බැවින්, ඒවා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව ප්රයෝජනයට ගනිමින් තම ආදායම් මාර්ග සංවර්ධනය කරගැනීම ප්රතිලාභීන්ගේ වගකීමක් බවද අමාත්යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, ලබාදුන් උපකරණ නිසි පරිදි භාවිත කරමින් ප්රතිලාභීන් සිය ආදායම් මාර්ග දියුණු කරගන්නේද යන්න පිළිබඳව නිරන්තරයෙන් සොයා බලන ලෙස ප්රජා සවිබලගැන්වීමේ නිලධාරීන්ට සහ ප්රජා සංවර්ධන සභාපතිවරුන්ට අමාත්යවරයා උපදෙස් දුන්නේය.
රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමට නම් ප්රථමයෙන් ගම්මාන සංවර්ධනය කළ යුතු බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන්කීර්ති මහතා, කැලණිය ප්රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, කැලණිය ප්රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ජනතා නියෝජිතයන්, ප්රතිලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


