සටහන – පුලී
ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo) කුණාටුවේ බලපෑම මධ්යයේ ගසක් කඩා වැටී සිදුවූ අනපේක්ෂිත අනතුරකින් ජීවිතය අහිමි වූ 60 හැවිරිදි රිචඩ් බේන්ස් වෙනුවෙන් මේ වන විට ශෝක උපහාර රැසක් පළ වෙමින් තිබේ. තම නිවස ආසන්නයේ ඇවිදිමින් සිටියදී සිදුවූ මෙම ඛේදවාචකයෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
ස්කොට්ලන්තයේ ඩම්ෆ්රීස් සහ ගැලෝවේ ප්රදේශයේ, කාසල් ඩග්ලස් ආසන්නයේදී ඉරිදා මෙම අනතුර සිදුව තිබේ. ජීවිතයේ වසර ගණනාවක් සොබාදහමේ සුන්දරත්වය රැකගැනීමට කැප කළ ඔහුගේ ජීවිතය, සොබාදහමේම කොටසක් වූ ගසක් කඩා වැටීමෙන් මෙලෙස නිමාවීම බොහෝ දෙනාගේ සිත් කම්පා කරවන පුවතක් බවට පත්ව ඇත.
රිචඩ් බේන්ස් යනු එඩින්බරෝ රාජකීය උද්භිද උද්යානයට (Royal Botanic Garden Edinburgh – RBGE) අයත් ලෝගන් උද්භිද උද්යානයේ (Logan Botanic Garden) භාරකරු ලෙස කටයුතු කළ ගෞරවනීය පුද්ගලයෙකි. උද්යානයේ සංවර්ධනයටත්, පරිසර හිතකාමී නව වැඩසටහන් හඳුන්වාදීමටත් ඔහු ලබාදුන් දායකත්වය අතිමහත්ය.
RBGE හි උද්යාන විද්යා අධ්යක්ෂ ඩේවිඩ් නොට් සඳහන් කළේ, බේන්ස් මහතා තම නිවස ආසන්නයේ ඇවිදිමින් සිටියදී ගසක වැදීමෙන් මෙම අනතුරට ලක්වූ බවයි. ඔහුගේ වියෝව පිළිබඳව ශෝකය පළ කරමින් නොට් මහතා කියා සිටියේ, ලෝගන් උද්භිද උද්යානයේ වැදගත් සංවර්ධන කටයුතු සහ නව වැඩසටහන් රැසක් සඳහා බේන්ස් මහතා මූලික වශයෙන් වගකීම දැරූ බවයි.
එමෙන්ම, එක්සත් රාජධානියේ හරිත බලශක්තියෙන් ක්රියාත්මක වන පළමු “සම්පූර්ණයෙන්ම හරිත” මහජන සංරක්ෂණාගාරය (public conservatory) නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළද ඔහුගේ දායකත්වයෙන් සාර්ථක වූ වැදගත් කාර්යයක් බව සඳහන් වේ.
ඔහුගේ නායකත්වය යටතේ ලෝගන් උද්භිද උද්යානය තවත් ඉහළ පිළිගැනීමක් දිනාගත්තේය. 2021 වසරේදී Which විසින් එය එක්සත් රාජධානියේ හොඳම උද්යානය ලෙස නම් කිරීමද ඒ අතර කැපී පෙනේ.
සොබාදහමේ සුන්දරත්වය වෙනුවෙන් සිය දැනුම, කාලය සහ කැපවීම පරිත්යාග කළ රිචඩ් බේන්ස් අද ජීවතුන් අතර නොසිටියද, ඔහු විසින් ගොඩනැගූ දේ සහ පරිසරය වෙනුවෙන් ඉතිරි කළ උරුමය දිගු කලක් පවතිනු ඇත.

