රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :
ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි 2023 හා 2024 වර්ෂවලට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේදී, විෂය ධාරා 6 යටතේ 1-10 දක්වා ස්ථාන ලබාගත් සිසු සිසුවියන් 240 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 24 කි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහි පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කථාව සිදු කළේය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් රජය අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරමින් සිටින බවත්, රටක අධ්‍යාපනය සඳහා අයෝජනය කිරිම තරම් වැදගත් වටිනා ආයෝජනයක් තවත් නොමැති බවය. දරුවන් ලබන අධ්‍යාපනය තුළින් රටට මහඟු සේවයක් කළහොත් එම ආයෝජනයේ ප්‍රතිඵල රටට සාක්ෂාත් කර ගත හැකි වනු ඇති බවත් කථානාකවරයා සඳහන් කළේය.
අධ්‍යාපනයෙන් උගතෙක් වෙලා ප්‍රඥාවන්තයෙක් වෙනවාට අපි කැමතියි. ප්‍රඥාවන්තයා කවදාවත් පරමාණු බෝම්බයක් හදන්නේ නැහැ. උගතෙක් වී වංචා කරනවා නම් උගත්කමෙහි වටිනාකමක් නැහැ. එතැන තිබෙන්නේ ප්‍රඥාවන්තකම නොව උගත්කම පමණයි. ඒ නිසා ඔබගේ උගත්කම රටට ඔබින ලෙස යොදාගතහොත් එවිට ඔබගේ දෙමාපියන් ඔබ උස් මහත් කිරීමට ලබාදුන් පෝෂ්‍යදායී බත් කටට සාධාරණයක් ඉටු වෙනවා යැයිද කථානායකවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ නව රජයේ සංකල්පයකට අනුව දූ දරුවන්ගේ ජීවිතයේ ඉදිරිය ශක්තිමත් කර ගැනීමට මෙවැනි දායකත්වයක් ලබාදීම පිළිබඳව අප සතුටු වෙන බවයි. එම අවස්ථාව ලබාදීම සම්බන්ධව ජනාධිපති අරමුදලට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති අරමුදල ගොඩනැඟුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට සහන සැලසීමට මෙන්ම අධ්‍යාපනය ලබන මේ රටේ දූ දරුවන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමටයි. වත්මන් රජය ජනාධිපති අරමුදල විධිමත් කිරීමේ අරමුණු ඇතිව අද වන විට ප්‍රාදේශීය මට්ටමට ගෙන ගොස් තිබෙනවා. එම නිසා අද වන විට සුදුසුකම් සහිත ප්‍රතිලාභීන්ට අරමුදලේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීම පිළිබඳව විශේෂ එක්දින පුහුණු වැඩමුළුවක් ඌව පළාතේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් ඊයේ (01) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල, නීතිඥ සරත් කුමාර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේරත්න, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

