සිංහල සුභාවිත ගීතයෙන් සුවහසක් ජනී ජනයා ආනදයෙන්, සෞන්දර්යෙන් පුරවා ලු හෙළයේ මහා ගාන්ධර්ව ශ්‍රී ලංකාභිමාන්‍ය ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 7 වන ගුණ අනුස්මරණය අද දිනට යෙදී තිබේ.
සංගීතය පිළිබඳව ඇසුපිරූ තැන් ඇති අමරදේවයන් උත්තර භාරතීය රාගධාරී සංගීතය ආභාසය කොටගෙන සිංහල සංගීතය නිර්මාණය කිරීමට මූලිකත්වය ලබා දෙන ලද අතර එතුමන් ගායකයෙකු, ගී තනු රචකයෙකු, චිත්‍රපට හා නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයෙකු වශයෙන් මෙන්ම සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හසල දැනුමකින් යුත් නිර්මාණ වේදියෙකු විය.
1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුව කොරල වැල්ලේදී මෙළොව එළිය දුටු වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා හෙවත් ඩබ්. ඩී. අමරදේව දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අතර, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබීය. අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
අමරදේව මුලින්ම චිත්‍රපට සඳහා සම්බන්ධ වන්නේ ‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා වශයෙනි.අනතුරුව ඉන්දියාවේ ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ.
මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්‍ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වූ අතර දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර විය.
ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වූ අතර අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය අමතන්නක් බවට පත්ව තිබිණි.
https://youtu.be/8909MYbZNVs?si=mhlBxv2L9FhbTSJG
කියඹු වැල් ලිහී
මාරුතේ සැලි
කොපුල්තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්….
අමරදේවගේ ගීත බොහොමයකට, මහගම සේකර, චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක සහ ඩෝල්ටන් අල්විස් වැනි ගී පද රචකයන්ගේ සාහිත්‍යමය ගුනයෙන් අනූන පදමාලා පාදක වී ඇති අතර ඔහු ගැයූ ගී අතර ජගන් මෝහිණී මධුර භාෂිණී, රත්නදීප ජන්ම භුමි,ඈත කදුකර හිමවූ අරණේ, ඔබේ නමින්, කන්ද උඩින් එන, රෑ දුරු රට, ආරාධනා, සුමුදු සුදුමුදු තලාවේ, ඇසෙ මතුවන, අනෝතප්ත විල, සතරවරම් දෙවු,සන්නාලියනේ, කලේ ගහක මල්, කන්දෙන් ලන්දෙන්, මා මළ පසු, කුන්දලකෙස්ෂි, කොළොම්තොට නැත, සඳ හොරෙන්,වක්කඩ ළඟ, මගේ කඳුලින්, මහවැස්සක පෙර නිමිති, මේ ගී එදා, මින්දද හි සර, මුනි සිරිපා සිඹිමින්නේ, මුවරද බර පිපි මල්ගොමු, හන්තානේ කඳු, වක්කඩ ළඟ, නිම් හිම් සෙව්වා, නිල කොබෙයි, ලෙර දිනයක මා, නිවන් පුරට මඟ පෙන්වන, පාලු අඳුරු නිල අහස, පාරමිතා බල, සන්නාලියනේ, දොඩම් කපාලා, කදිර සුරිඳු, සසර වසන තුරු, තරු අරුන්දතී, සිහින නෙලුම් මළ, ගී පොතයි මිවිතයි, දස්කොන් සකි සඳ, තාත්තා වුනත්, කුල ගෙදරට, සඳ තරු නිහඬයි, කඳුළු කිරිපොවා, කුමරියක පා සළඹ, වැලිතල අතරේ, බින්දු බින්දු රන්,පටු අදහස් නම්, ස්වාර්ණ විමානයට එහා ලෝකයෙන්, සිහින නෙලුම් මළ, විකසිත පෙම්, ගිමන් හරින, බලා වැලපෙමි, ආදී සුභාවිත ගීතයේ ප්රගමනය වෙනුවෙන් අමරදේවයන් යුග යුග බැඳී ගී සමුච්චයක් දායාද කර ඇත.
අමරදේවයන්ගේ කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය. සිය සංගීත අධ්‍යක්ෂණය ලබා දුන් චිත්‍රපට අතර
රන් මුතු දූව
අදට වැඩියෙන් හෙට හොදයි
සිකුරු තරුව
ගම්පෙරළිය
ගැටවරයෝ
ළා දළු
සාරවිට
ආදරයයි කරුණාවයි
දෙළොවක් අතරේ
වෙස්තුරු සිරිත වැදගත් වේ.
අමරදේවගේ ගීත ඇල්බම් අතර
ඉරට මුවාවෙන් (1983)
කොළොම්තොට (1985)
වසන්ත ගීතය (2000)
ස්වර්ණ විමානෙට
වැලිතල අතරේ
අමරදේවයන් ඔහුගේ වසර 88 සංගීත දිවිය තුළ ගෞරවාර්ථ සම්මානයට පාත්‍ර වූ අතර
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001)
ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය
ශ්‍රි ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති සම්මානය
ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය ඒ අතරින් ප්‍රධාන වේ.
පෙරදිග සහ අපරදිග සම්ප්රදායන්හි සාධනීය දෑ මත පදනම් වෙමින් සුපුෂ්පිත කලාවක් සඳහා මාවත විවර කල අමරදේව 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව “ගවුමි සලාම්” නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා තනුව නිර්මාණයට දායක විය. ඔහු සිංහල සංගීතයේ අනන්‍යතාවය පෙන්වූ සංගීතඥයා විය.
https://youtu.be/0vdc0dzfibQ?si=ywYQ_T6Tciocrz5X
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව.
හදිසියේ ඇති වූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් මෙතුමා 2016 නොවැම්බර් මස 03 වැනි දින අමරදේවයන් සිය යුග මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගියද ඔවුන්ගේ විශ්මිත සංගීත කලා සංස්කෘතික පෙලහරේ දීප්තියෙන් අපගේ දේශය, සංස්කෘතික ආධ්‍යාත්මයද සදා පිබිදෙනු ඇත. සප්තස්වරයම එක් තැනට එක් මිටට ගුලි කර නව නළු රස මැවූ කෙනෙක්වේද ඒ අමරදේවයන් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.
සශිකලා මධුෂාණි