කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු (ශුද්ධාසනයේ විදේශ කටයුතු අමාත්‍ය ) Paul Richard Gallagher හිමිපාණන් පසුගිය 03 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙහිදී අධ්‍යාපනය, සංහිඳියාව සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අවධානය යොමු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගරදගුරු Gallagher හිමිපාණන් හට පැහැදිලි කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ අගරදගුරු හිමිපාණන් “අධ්‍යාපනය යනු සාමය, බලාපොරොත්තුව සහ ප්‍රජා සංවර්ධනය සඳහා වන නව නාමයක්” බව සඳහන් කරමින් ලෝක අධ්‍යාපනය සඳහා වන ජුබිලිය වැනි ශුද්ධාසනයේ ගෝලීය මුලපිරීම ඉස්මතු කළේ ය.
ගැටුම්වලින් පසු ගොඩ නැගී ඇති සංහිඳියාව පිළිබඳ අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය වත්මන් රජය විසින් ගෙන යන සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා වන එක්සත් ප්‍රවේශයක් සඳහා වන ගමන් මඟ පැහැදිලි කරමින්, සංහිඳියාව ළඟා කර ගැනීම සඳහා නිරන්තරයෙන් සංවාද සහ අලුත් චින්තනයක් අවශ්‍ය බව අවධාරණය කළා ය. රජය විසින් ගෙන යන මෙම දැක්ම පැසසුමට ලක් කළ අගරදගුරු Gallagher හිමිපාණන් ජාත්‍යන්තර විශ්වාසය පවත්වා ගැනීම සඳහා අධිකරණ පද්ධතිය, විශ්වාසය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
අවසන් වශයෙන් අගරදගුරු Gallagher හිමිපාණන් විසින් ශුද්ධෝත්තම XIV වන Leo පාප් වහන්සේගේ ශ්‍රී ලංකා නිල සංචාරක් පිණිස යෝජනාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා විධිමත් ලෙස ආරාධනා කිරීමට කටයුතු සලසන බවට පවසමින් අග්‍රාමාත්‍යවරිය එම යෝජනාව පිළිගත්තා ය. අගරදගුරු Gallagher හිමිපාණන් විසින් ශුද්ධාසනය නැරඹීමට කළ ආරාධනය ද අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී පිළිගනු ලැබීය.
වතිකානු දූත පිරිසට කොළඹ ශුද්ධාසනයේ තානාපති කාර්යාලයේ භාරකාර ගරු Monsignor Roberto Lucchini හිමිපාණන් සහ ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් කාර්යාලයේ උප ලේකම් ගරු Monsignor Tomislav Zubac හිමිපාණන් ඇතුළත් වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා; අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය; අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා; සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (යුරෝපය සහ උතුරු ඇමරිකාව) අනෝද්‍යා චිරස්රි මහත්මිය යන පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.
