අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙත චෝදනා එල්ල වී ඇති අතර සිඩ්නි අධිකරණයේදී ඔහුට ඇප ලබාදීම නොවැම්බර් 06 වැනිදා ප්‍රතික්ෂේප කර ඇත.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක, සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව පැවැති 20/20 ලෝක කුසලාන තරඟයෙන් එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්වීමෙන් පසු එරට වේලාවෙන් ඉරිදා අලුයම 1.00ට පමණ ශ්‍රී ලංකා කණ්ඩායම නතරවී සිටි සිඩ්නි සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගැණින.
නිව් සවුත් වේල්ස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේදී නොවැම්බර් 2 වැනි බදාදා 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් එරට රහස් පරීක්ෂක නිලධාරීන් මේවන විට පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත. අන්තර්ජාලය ඔස්සේ හඳුනාගෙන තම රුචිකත්වයන් මත පුද්ගලයින් ඇසුරු කිරිමට හැකි ‘Tinder’ නැමති ‘Dating App’ එක ඔස්සේ අදාළ කාන්තාව සමඟ පණිවිඩ හුවමාරු කර ගෙන දින තුනකට පමණ පසු, එනම් නොවැම්බර් 2 වැනිදා මෙම කාන්තාවට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති තිබේ. නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ අදාළ ඇප් එක ඔස්සේ දින කිහිපයක් පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් පසු, ධනුෂ්ක ගුණතිලක මෙම කාන්තාව හමුවී ඇති බවය.
නමුත් ඔහුට විරුද්ධව එල්ල වන කාන්තා ලිංගික අපයෝජන චෝදනා නම් අස්වාභාවිකයි. මේ චෝදනාව කරන කාන්තාව ධනුෂ්කට සම්බන්ධ වෙන්නේ ඩේටිං ඇප් එකක් මඟිනි. ඩේටිං ඇප්වල කාන්තාවන් කතරගම කිරිවෙහෙරට යන පාරේ වගේ මල් විකුණනවා නොවේ.
මෙය සැබවින් ම බටහිර රටවල පවතින දැඩි ස්ත්‍රීවාදී නීතිවලට මුවා වී ප්‍රසිද්ධ පුද්ගලයින් බ්ලැක්මේල් කර ප්‍රසිද්ධිය සහ මුදල් ඉපයීමේ සුපුරුදු සෙල්ලමම ද බවට සාධාරණ සැකයක් පැණනඟින්නේ මෙතැනදීය. කලකට පෙර හිටපු ඇමරිකානු ජනාධිපති බීල් ක්ලින්ටන්ට ධවල මන්දිර සේවිකාවක වූ මොනිකා ලෙවෙන්ස්කි එල්ල කළ චෝදනා වැන්නකි.
මෙම සිදුවීම පිටුපස සැබවින්ම සිදුවූයේ කුමක් ද යන්න කිසිවකුට පුරෝකථනය කළ නොහැක. එහෙත්, ධනුෂ්කගේ මෙම සිදුවීම සමඟම වෙනත් රටවල පවතින නීති පිළිබඳ ලාංකිකයින් අතර සංවාදයක් මතුවීම නම් හොඳ දෙයකි.
හරි වැරදි තීරණය කිරීමට අධිකරණයක් තිබේ. වටේ පිටේ අය ඒවා සොයා බලා හංවඩු ගැසීම නම් අනුමත කළ නොහැක.
අනෙක් දෙය නම් සියල්ලටම පෙර නඩු තීන්දු දෙනු ලබන්නේ මේ රටේ මාධ්‍යයයි.. පේජ් ඇඩ්මින් පිරිස කීවොත් නිවැරැදිය. පසු කලෙක අදාළ පුද්ගලයා අධිකරණයෙන් නිවැරදිකරුවෙකු වූව ද ඔහුගේ හෝ ඇයගේ ජීවිතය අසීමිත ලෙස සමාජීය හා මානසික ලෙස බිඳී ගොස් තිබිය හැක. මෙම සිද්ධියේදී පමණක් නොව මීඩියා වලින් සිදු වූ අශෝභන ක්‍රියාවලි සලකා බැලූ විට මාධ්‍ය සදාචාරය ඉතාමත් පිරිහී ඇති බව නම් නොරහසකි.
…..පිටරට මාධ්‍ය විසින් දිනකින් කියා අවසන් කළද අපේ මාධ්‍ය විසින් අදාළ පුද්ගලයාගේ මානසිකත්වය ඍණ වනතුරු තාමත් රටේ ‘හොට් නිව්ස්’ එක වී අවසන්.
ක්‍රීකට් විතරක් නෙවෙයි අපේ රට නියෝජනය කරන වෙනත් ඕනෑම ක්‍රීඩාවක විනය ඉතා ඉහළින් තිබිය යුතුමයි. ක්‍රීඩකයන්ගේ විනය වගේම ක්‍රීඩා බලධාරීන්ගේ විනය පිරිහිලානම් එතන බොහෝමයක් ප්රශ්ණයන් ඇතිවීමට පුළුවනි.
මෙහිදී ක්‍රීඩකයන්ට පමණක් වරද පැටවීම එකඟවිය නොහැක. මේ හැම දේකටම කණ්ඩායමේ නායකයා, පුහුණුකරුවන් ඇතුළු අනෙකුත් ඉහළ නිළධාරීන් වගකිව යුතුමයි. ඒ අයගේ ප්‍රධානතම වගකීමක් වන්නේ තම ක්‍රීඩකයන් අතින් මෙවැනි දේවල් සිදු නොවන ආකාරයට ඔවුන්ට දැඩි නීති, රීති පනවමින් ඔවුන්ගේ විනය රැකගෙන හොඳින් තරඟවලට මුහුණදීමට ඔවුන්ව සුදානම් කරමින් තරඟ ක්‍රීඩා කර නැවත ලංකාවට පැමිණීමයි. එසේ නොමැතිව ක්‍රීඩකයන්ට සිතු සිතූ පරිදි ඔහේ හැසිරෙන්න ඉඩදී බලාගෙන හිඳ’ පසුව යම් ප්‍රශ්ණයක් ඇතිවූ විට මාධ්‍යය ඉදිරියේ නිදහසට කරුණු කියමින් තමන් ඒ වගකීමෙන් ගැලවී වැරදි කළ ක්‍රීඩකයන් පිට පමණක් ඒ වරද පටවා තමන් අත සෝදා ගැනීම කිසි විටකත් පිළිගත නොහැක.
මිනිස්සු අපමණ කැපකිරීම් කරමින් තමුන්ගේ ඉලක්කයන් වෙත යන්නේ තමන්ට වෙන්නට ඕනෑ මිනිහා වන්නටය. හුඟක් මිනිස්සු සිහින මවන්නේ, ‘මම මෙතනට ගියොත් මේ අහවල් අහවල් දේ මට රිසි සේ කල හැකියැයි’ කියන අතිධාවනය තුළිනි.
ලෝකේ ලොකුම සල්ලිකාරයා වුවත් තමන්ගේ ඇතුලේ තියෙන ආශා මාත්‍රයන් එසේම එළියට දමාගත නොහැක… ලෝකේ ලොකුම බල පුලුවන්කාරයෙකු වූ බිල් ක්ලින්ටන් පවා මොනිකා ලෙවෙස්කි ඇසුරෙන් හොට පටලවා ගත්තේය.
ධනුශ්ක ඔබ පිළිබඳ කීමට ඇත්තේ මෙපමණකි. මතුපිටින් ලැබෙන සිවිල් බලය කියන එක දැලි පිහියක් කොටගෙන දිගින් දිගටම තමන්ට තුවාල කරගන්නේය. මල්ලි… අපි ජීවිතේ සාක්ශාත් කරගන්නා ඉලක්ක අපතුළ වන සතා නිදහසේ දිගේලි කරවීමට හැකි අවසර පත්‍ර නොවේ….
අවසානයේ අපි හැමෝම ඇතුලෙ ඉන්නව සතෙක්, ඌව පාලනය කරගන්න මට්ටමට තමයි මනුස්සකම කියල කියන්නෙ!
රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.08