සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 09, (LNW) කොළඹ: ළමයා නො‘පෙනෙන,නො‘ඇසෙන හෝ නො‘දොඩන අයෙකු නොවන බව පළමුව තේරුම් ගත යුතුය.අද ළමා නිර්මාණ කරන වැඩිහිටියන්ගේ ළමාකම පරිනාමය වී නැත.ඔවුන් සමහර විට ඔවුන්ගේ ළමාවියේ ද සමාජය සමඟ පරිනත නොවුණු,ඔවුන්ගේ වයසටත් වඩා ළඳරු අවධියේ වෙසෙන්නෝය.ඒ නිසා ඔවුන් ළමයින් ලෙස සිතා කරන ළමා නිර්මාණ මෙන්ම ඔවුන් ළමා නිර්මාණ ගැන දෙන ඇගයීම් ද ළමයින්ට වඩා බාල වියේ පැවතීම ළමා නිර්මාණකරණයේ වර්ධනයට බලපාන තත්ත්වයකි.
එසේම තවත් අතකින් ළමයා මේ මොහොතට සාපේක්ෂව සිතන පතන ආකාරයන් සමාන වන සහ අසමාන වන අවස්ථා තේරුම් ගැනීමද වැදගත්ය. පළල් වී මෙන්ම සැමට සමාන ලෙස ස්පර්ශ කරන්න හැකි මට්ටමට හැකිලී තිබෙන සංදර්භයක ළමයා යනු වෙනස් වන්නේ ඔවුන් ජිවත්වන පාරිසරික අනන්‍යතාවයන්ට අනුවය.ඒ මත ඔහුට පැවරෙන වගකීම්,සමහර විට භෞතික තත්ත්වයන් අනුව චර්යාවන් හී වෙනසක් වුව ද,පොදුවේ ළමයා යන්න පොදු ධර්මතාවක් ලෙස නිර්වචනය කර ගතහොත් සිතුවිලි සහ අපේක්ෂාවන්වල සමානකම් බොහෝ ය.වෙනසක් නැති තරම්ය.
මේ කියවා ගැනීම මේ මොහොතට අදාළව පොළවේ දෙපා තබාගෙන ළමා නාට්‍යකරණයේ යෙදෙන නාට්‍යවේදියෙක් ලෙස පුබුදු සුභාෂිත කුරගල හැඳින්වීම සාධාරණ කියවීමක් බව විශ්වාසය.ඔහුගේ නාට්‍ය තුනක් එකවර නරඹද්දි ඒ කියවීම්වල ද පරිනත වීම් පැහැදිළි කර ගැනීමට හැකි අතර ඒවා ළමයාගේ සමාජ පරිවර්ථනීය පරිනතවීමට සමාන වර්ධනයක් ලෙස ද හැඳින්විය හැකිය.“හීන තුනේ කතන්දරේ ලෙස නම් කර තිබූ නාට්‍ය ත්‍රිත්වයේ ප්‍රදර්ශන අවස්ථාවත් සමඟ ඒ නාට්‍ය පිටපත් තුන ඇතුළත් ග්‍රන්ථයද සමාජගත කෙරිණ.ඊට සත්කාරක ප්‍රකාශන දායකත්වය දරන්නට ග්‍රැපිකෙයා ඉදිරිපත්ව තිබුණු අතර ඇරුණු තිරයෙන් පෙණුන අනන්‍යතාවයට සමාන වන ලෙස එහි මුද්‍රණ කටයුතු මෙන්ම පිට කවරය සැරසීම තනූජ ගමගේ අතින් ද සිඳු වී තිබීම තිරය විවර වූ පසු කතාවට පිවිසීමට පෙර සටහන් කළ යුතුව ඇත.
වේදිකාවේ දිග ඇරුණු පාට තුනයි එකම මලයි සුභාෂණගේ පළමු හීනය විය.එය අපූර්වත්වය අතින් වැට අද්දර සහ ඇහැළ මලයි යන නාට්‍ය ද්විත්වයට වඩා පහළින් තැබීම කුරගලගේ වර්ධනය ගැන සටහනකදී පිළිගත යුතු තත්ත්වයක්ය.දරුවන්ගේ ජිවිතවල වීරයෝ වන හෝ සමීපතම ස්වප්නාලංකාර මිතුරෝ සමඟ පවුලක කුඩා සහෝදරයන් තුන්දෙනෙක්ගේ ජීවිතයට අයත් පැය කිහිපයක් කුරගල මෙහිදී අප හමුවට ගෙනෙන එයි.එහිදී කුරගල යම් තරමකට හොදම ළමයා කියන සංකල්පය සමඟ තර්ක කිරීමට හෝ සටන් කිරීමට නොයා සම්ප්‍රදායික ළමයාගේ සීමාවන් හී අන්තයන් කොනිති ගසන්නට වෙර දරයි.
ළමා මනසේ ජීවත්වන සාහිත්‍යමය සහ කලාත්මකව මවා සිතට කා වද්දා ඇති චරිත දරුවන්ගේ ප්‍රශ්න හමුවේ ඒවා නිරාකරණය කරන්නට මැදිහත්වන සජීවී වස්තු බවට පත් කිරිම දරුවාව ආනන්දයේ වෙනස් මායිමකට කැඳවා ගෙන යාමක්ය.
මේ සීමාවන් අභිබවා මහා විශාල දුරක පිම්මක් පනින්නට කුරගල වැට අද්දර ළමා නාට්‍යයත් සමඟ සමත්කම් පාන්නේය.එහිදී අපට හමුවන්නේ වැඩිහිටි වගකීම් දරමින් තමන්ගේ ජීවිතය ගැට ලසා ගැනීමේ වගකීමට උරදෙන්නට සිඳු වී ඇති දරුවන් කැළකි.දරුවන් තුළ ඇති හෙට ගැන සිහින ඔවුන්ට ඇත.ඒත් සමහරක් ඒ සිහින මරා දමා තමන්ට ඒවා අයිති නැති බව අවිශ්වාසයෙන් යුතුව විශ්වාස කරමින් ඒවා ගැන කේන්තියෙන් කතා කරන්නෝය.
පෞද්ගලිකව මෙවැනි දරුවන්ගේ ජීවිතවලට සමීපයෙන් ඇසුරු කර අත්දැකීම් ඇති මේ ලියුම්කරු දන්නා එක ඇත්තක් ඇත.ඔවුන්ට හීන ඇත.ඒවා පාට පාටින් සිත්තම් කරන්නට අවස්ථාවක් සහ අධ්‍යාපනයක් ලදහොත් අනිත් ඕනෑම ළමයෙක්ගේ හීනවල පාටට පෙනෙනු ඇත.ඒවායේ හැඩයට සමාන වනු ඇත.එම හීනවල සමානකම සහ ඔවුන්ට ඒ හීනවල පාට සහ හැඩ අහිමි වීමේ සමාජ ඉඩ මත සිට නාට්‍යකරුවා තමන්ගේ පිටපත සූක්ෂමව මෙහෙයවන්නේය.එය වේදිකාව තුළ පන ලබද්දී ද ඒ සංයමය සහ සූක්ෂම බව ආරක්ෂා කරන්නේය.
මීට වසර ගණනකට පෙර ඒ නාට්‍ය නරඹපු දරුවන් වැට අද්දරට වඩා බොහෝ වෙනස් තැනෙක සිට එය විඳිමින් ඒ තමන්ගේම උවමනාවන් ඇති,ආශාවන් ඇති දරුවන් බවත්,එය ඔවුන් විසින් නැති කර නොගත් කවුරුන් විසින් හෝ නැති කරන ලද අවස්ථාවක් බවත් තේරුම් ගන්නට සමත් වූ බවට මේ ලියුම්කරුට ඇත.එය පව් යැයි කියන වචනාර්ථය ඉක්මවා දේශපාලනිකව ඔවුන්ට තමන්ගේ තැන අහිමි වීම ගැන සොයන්නට සහ තර්ක කරන්නට ළමයා පෙළඹවීමක්ය.එම පෙළඹවීමය ළමා මනස මත ඇති කරන බරත්,උවමනාවත්,එහි වින්දනයත් සෞන්දර්යාත්මක ශික්ෂණයකින් පවත්වා ගෙන යාමට කුරගල සමත් වන්නේය.
“කවදාහරි,කවුරුහරි මගේ නාට්‍යය බලනකල් මම පෙන්වනවා…..කවුරුහරි අපි දිහාත් බලයි“
වැට අද්දර නාට්‍යයේ “කඳුළු“ ගේ මුවින් ඒ වචන අවසානයට නික්මෙන විට ප්‍රේක්ෂක දරුවා ඒ නාට්‍යය බලන්න තීරණය කරන තැනකට පත්ව අවසන්ය.ඔවුන් අනාගතයට වෙනස් වේදිකා අවශ්‍යය නොවන පොදු වේදිකාවක සිහිනයට ඇතුළත් වි හමාරය.ඔවුන් ඔවුන්ගේ අවට තිබෙන තමන් නොදකින නාට්‍ය ඇති බව තේරුම් ගෙන ආනන්දයෙන් ඉනික්බිති ප්‍රඥාවට පැමිණ අවසන්ය.සමාජ ක්‍රම වෙනසකදී ළමයාගේ අනාගත ඉලක්ක වැදගත්ය.එවැනි ව්‍යහුයක කුරගල ගේ නාට්‍ය පාසල් නාට්‍ය හා රංග කලා විෂයට ඇතුළත් විය යුතු බව අපේක්ෂිත සමාජ වෙනසකදී අධ්‍යාපන වෙනසකට ඇතුළත් විය යුතු බවත්,ඒවා සුරක්ෂිතව දරුවන් අතරට ගෙන යන්නට වැඩ සටහනක් අවශ්‍යයව ඇති බවත් කිව යුතුය.
ඇහැළ මලයි පිට්ටනියයි සඳහා තේමා වන්නේ සාමනේර චරිතයක මනෝ භාවයන්ය.ළමා මහණ කිරීම්වලට විරුද්ධව කෙරෙන බොහෝ විරෝධතා අපි දැක විඳ ඇත්තෙමු.ඒ සියල්ලට වඩා අපූරු සෞන්දර්යාත්මක ප්‍රවේශයිකින් ඒ ක්‍රයාදාමය විශ්වාස කරන පිරිසට පවා එහි සාපරාධී බව විශ්වාස නොකර බැරි තැනකට හදවත කම්පා කරන පෙළක් සහ අධ්‍යක්ෂණයක් කුරගලගේ නිර්මාණයේ ඇත.
විශේෂයෙන් කුඩා දරුවන් සාමනේරනමක් දෙස බලන ගෞරවය පමණක් ඇති හැඟීම වෙනුවට මිත්‍රශිලීව සහ සහෘදව සිතන්නට පෙළඹෙනු ඇත.වැඩිහිටියන් ද සිවුර කරේ මාර විසේ ලෙස සමහර සාමනේරයන් වහන්සේලා දෙස බැලූ අගෞරවශීලී දැක්ම වෙනුවට ඒ සිවුර තුළ සිර කර සිටින දරුවාගේ ආත්මයට ආදරයෙන් නිදහස දෙනු ඇත.
දරුවන් මහණ කිරීම වැරදි බව දැනෙන තරමටම,මහන වූ දරුවන්ගේ ළමාකම යම් යම් සීමාවන් ඔස්සේ වාරණයට ලක් කිරීමේ ආගමානුකූල චින්තනයේ වැරදි බලපෑමෙන් මිදී දාරකාදරය ඔස්සේ සිතන්නට පොළඹවන සුළුය.අධ්‍යාපන විෂය නිර්දේශය තුළ තිබිය යුතුම කියවීමක් වුව,ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කාරණයේදී මෙන්ම චීවරධාරීන් නොසතුටට,කලබලයට පත් කළ හැකි තත්ත්වයකි.
එහෙත් එවැනි සීමාවන්ට යටත් නොවී නාට්‍යයක් ලෙස වැට අද්දර වේදිකාව සහ ඇහැළ මලය පිට්ටනියයි යන ළමා නාට්‍ය ද්විත්ව වැඩිහිටියා දරුවා සමඟ එකට හිද නැරඹිය යුතු ළමා නාට්‍යයකි.ළමයාගේ චින්තනය ගැන මේ සටහනේ ආරම්භයේ පවසන අදහස අනුව සමාජ පරිවර්ථනයේ එක කාරණයක් ලෙස සමාජය වැඩිහිටි සමාජය දරුවා සම්බන්ධයෙන් හිතන කාරණාවන්වල පරිවර්ථන අවශ්‍යයතාවයද විනාඩි කිහිපයකින් තේරුම් ගැනීමට මේ නාට්‍යය වැඩිහිටියාට උගන්වනු ඇත.ඒ ඒවා ඉගෙන ගැනීමට තිබුණු ඉඩ මඟ හැරුණු තැන ගැන ආත්මීය කම්පනයක්ද සමඟින්ය.
කුඩා කාමරයක බුදු පිළිමයක් සමඟ වත් පිළිවෙත්වලට සිර කර තිබෙන සාමනේර නමක තමන්ට දහම සම්බන්ධයෙන් ඇති ගැඹුරට මෙපිට දරුවෙක් විම නිසා දරුකමත්,සිවුරත් සමඟ තමන් වෙත පටවන ලද සීමාන්තික නිදහසත් ගැන සාකච්ඡා කරන්නට ද ඉඩක් නැතිව ලතවීම ගැන සිතා බලන්න.ඔහුට මේ පැන නැඟෙන ගැටළු ඇසිය හැක්කේ බුදු පිළිමයෙන් පමණි.එහෙත් නොලැබෙන මැටි පිඬකින් ප්‍රතිචාරයක් නොනැඟෙයි.ලොකු හාමුදුරුවන් සහ සාමනේර තැන අතර ඇති සිමාව දුරය.එය සළකුණු කර අවසන්ය.
එතැන් සිට ඔහු සිය ළමා කාලයට සිවුරෙන් මිදී නික්මී සිහිනයකදී හමුවන භූතයෙකු හා බැදී සිය ගිහි මිතුරුන් සමඟ සෙල්ලමේ යෙදෙයි.එහෙත් ඒ වෙනදා මෙන් ගිහි මිතුරන්ගේ කැමත්ත ඇතිවම නොවේය.තමා ලඹා වයසින් කොන් කර පිටුවහල් කර තිබෙන බවට විටින් විට සිය මිතුරන් විසින් කරන දැණුම් දීම ද සමඟය.
රාහුල හාමුදුරුවන්ට පැවිද්ධ ලබා දුන් මොහොතේම ඒ සඳහා වැඩිහිටියන් අවසරය අවශ්‍යය බව සුද්ධෝධන රජුන් හා වූ සාකච්ඡාවෙන් පසුව බුදු හාමුදුරුවන් දේශනා කර ඇති බව අපි දනිමු.එහෙත් අද බොහෝ විට මේ වැඩිහිටි කැමත්ත එන්නේ යැපුම් මාර්ගයක් ලෙසය.නඩත්තු මාර්ගයක් ලෙසය.එසේම ළමා භික්ෂු පරිච්ඡේදය ලංකාව සම්බන්ධයෙන් රසවත් හෝ යහපත් නැත.මේ වන විට බන්ධනාගාරව සිටින චීවරධාරීන් බොහෝ පිරිසකගේ කතාවන් ඇසුරෙන් ද මේ බව තේරුම් ගැනීම අපහසු නැත.
සුද්ධෝධන රජතුමා කියූ එහෙත් ඊට එකඟ වූ බුදු හාමුදුරුවන් ද කම්පනයට පත් කරන්නට ඇතැයි සිතෙන ඉගෙන ගන්නට ලැබෙන ආගමෙන් නොඇසෙන කතාවක් පුංචි සාමනේර නම නාට්‍යෙය් අග දී බුදු පිළිමයෙන් අසන්නේය.
“ බුදු හාමුදුරුවො,රාහුල පොඩි හාමුදුරුවො යාළුවො නැතුව ඉන්න බැහැ කියලා කවදාවත්ම කිව්වෙ නැද්ද?“
ඒ දෙබස ඇස කතා කරවන මුව ගොළු කරවන තරම් ප්‍රබලය.එතැනට ක්‍රමයෙන් ප්‍රේක්ෂකාගාරය ගෙන එන කුරුගල මේ නාට්‍ය ඇතුළේ සිහිනයක හමුවන භූතයා සමඟින් සාමාන්‍ය ජීවිතයට එළැඹ කටයුතු කරන පුංචි සාමනේර එයින් ලබන වින්දනය සමඟින් ලොකු හාමුදුරුවන්ගෙන් තමන් බලාපොරොත්තු වෙන මහා සතුට දුන් ඒ භූතයා ගැන අසනු ඇතැයි සිතෙන දෙබසක් ද සිතේ හොල්මන් කරන්නේය.එය නම් “හාමුදුරුවනේ භූතයාට වඳින ගාථාවක් තියෙනවද“
සරල වේදිකා නිර්මාණ සමඟ සරලම සරල ඇඳුම් ආයිත්තම් ද ළමා නට්‍ය වේදිකාවට අලුත් ආලෝකයක් ගෙන ආවේය.රංග වින්‍යාසය ද ඊට අදාළ පසුබිමට සාපේක්ෂව අපූරුවට ගලපා තිබුණේය.බොහෝ ළමා නාට්‍යය සම්බන්ධයෙන් වැඩිහිටියන් හදාගෙන සිටින ලෝක උඩු යටිකුරු කර තිබෙන කුරුගල ළමයාව මැනවින් කියවා ගන්න ගුරුවරයෙකු තුළ තිබිය යුතුම ගුණාංගය සහිත ගුරුවරයෙක් බව කිව යුතුය.එහෙත් බොහෝ වෙලාවට පාසල් ප්‍රධානීන්ට අවශ්‍යය කරන්නේ දරුවන්ට අවශ්‍යය කරන දක්ෂ ගුරුවරු නොවේය.අධ්‍යාපන පරිපාලනයේ ප්‍රධානීන්ට අවශ්‍යය සුවච කීකරු කම් ඇති රූකඩය.
මේ නාට්‍ය තුන ඇතුළත් පොතේ පුබුදු සුභාෂණ කුරගලගේ තබන සටහනේ මෙසේ පවසයි.
ළමයි
ළමයිමයි.
රූකඩ හෝ
කෙළිබඩු
නොවෙයි.
ඇත්තටම කුරුගල සමඟ එකඟ වන අතරේම වැඩිහිටියන් දරුවන් එසේ භාවිතා කරන සමාජයක් මෙන්ම වැඩිහිටියන් ද යම් යම් අවශ්‍යයතා වෙනුවෙන් රූකඩ හෝ කෙළිබඩු සේ හැසිරෙන සමාජයක් ඇති බව ද අමතක කළ නොහැකිය.