මාක්ස්වාදී හිසකට නව ලිබරල් ඇඟක් !

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත්දා සිය දෙවැනි අය වැය ලේඛනය ඉදිරිපත් කෙළේය. ඔහු එය සිදු කෙළේ මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති වරයා වශයෙනි. අනුරගේ කතාවේ පරස්පරතා ඇතත් අයවැය හොඳයි යන්නය අපගේ අදහස. අයවැය ලේඛනයක් යනු ජනතාව ට දෙන සහන ප්‍රකාශයට පත් කරන හුදු දේශපාලන ප්‍රකාශනයක් නොවන බව මෙම අයවැය මගින් යළිත් ප්‍රකාශයට පත්කර තිබේ.එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශික්ෂණය යටතේ සිදු වූවක්ය යන්න අපගේ විශ්වාසයයි.

ඔහු ගේ ස්වාමියා ගේහඬට ඇහුම්කන්දුන්නද, ජනතාව ට හා ස්වාමියා ට කොලේ වසා ඇති අවස්ථා ඇතැයි යන්න දක්නට ලැබේ. අයවැයට සුළු මොහොතකට පෙර හාකලින් දිනවල ඇතැම් ඇමතියන් සිය ප්‍රචාරක පච මල්ල විවෘත කරමින් කියා සිටියේ “බලන් ඉන්න. මේ පාර සහන රාශියක් තියෙනවා” යන්නය. ජනතාව තුළ සුළු මොහොතක ට හෝ බලාපොරොත්තු දල්වා ඒ මගින් ස්වයං වින්දනයක් ලැබීම අරමුණ වූවා විය හැකිය.

ඇත්ත වශයෙන්ම ජනතාවට සහන සැලසීම කාටත් බලපාන අන්දමට සිදුවිය යුතුය යන්න මගේ අදහසයි. IMF බාප්පලාද එසේ සිතනවා වියහැකියි . සෘජු හා වක්‍ර බදු මේ රටේ සියලු පුරවැසියන් ගෙවන නිසා වෙන්ය එසේ සිතනුයේ . නමුත් අයවැය මඟින් සහන සලසා ඇත්තේ කුඩා කණ්ඩායම් වලටය. අපේ රට තවමත් ක්ලීන් සූට් එම්ටි පොකට් තත්ත්වයෙන් මිදී නැති නිසා එසේ සිදුවූවා යැයි සිතිය හැකි මුත් ඇතැම් යෝජනා නිසා අරපරිස්සමෙන් ම කටයුතු කරන බවක් නොපෙනේ. එයාර් ලංකා ආයතනයට හුලං ගැසීම කලින් පැවති ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුව ද මෙවර සිදුකර ඇත.ඒ සඳහා වෙන්කර ඇති අති විශාල මුදලේ බර පැටවෙන්නේද මේ රටෙි සාමාන්‍ය ජනතාවට ය.තවත් ආයතන කිහිපයකටම මුදල් පොම්ප කිරීමේ යොජනාද අය වැය මගින් ප්‍රකාශ මාන විය.මෙය නව ලිබරල් ශරීරය මාක්ස්වාදී හිස මඟින් මෙහෙය වනු ලැබූ අවස්ථා ලෙසය අපට සැලකිය හැක්කේ.

ජනතාව ට සහන දුන් බවට ඇතැම් ප්‍රකාශකයන් පම්පොරි ගැසුවද සහන බොහොමයක් දී ඇත්තේ කුඩා කණ්ඩායම් වලටය. නැත්නම් ව්‍යාපාරික ප්‍රජාවටය. ව්‍යාපාර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි. ඒ ගැන කිසිදු වාදුවක් නැත. නමුත් කුඩා කණ්ඩායම් වලට පමණක් සහන ලබාදීම බදු ගෙවන ජනතාවට එතරමි සතුටු විය නොහැක . අස්වැසුම ලාභී පවුල් වල ආබාධිත දරුවන් ට කිසියම් සහනාධාරයක් යොජනා වී තිබේ. එයට අප විරුද්ධ නැතත් මෙයද ලබනු ඇත්තේ ඉතා සොච්චම් පිරිසකටය. මහ පොළ ශිෂ්‍යත්ව ලාභීන් ඇතුළු බොහෝ සහන ලාභීන් ප්‍රමාණයෙන් කුඩාය. මෙය කිසියම් ආකාරයක ඇස් බැන්දුමකි. දෙකෝටියක වැඩි ජනතාවක් සිටින රටක දහසය ලක්ෂයක රජයේ සේවකයන්ට පමණක් වැටුප් වැඩි කිරීම සාධාරණ වන්නේ කෙසේද ?

අස්වැසුම ට හිමිකම් නැති සමස්ත ජනතාව අඟහිඟයක් සුඛිත මුදිත පිරිසකැයි ආණ්ඩුව සිතන්නේ ද? ඇත්ත වශයෙන්ම මධ්‍යම පාන්තිකයන් බහුතරයක් අස්වැසුම ලබන්නන් තරමටම දුප්පත්ය. එමෙන්ම ඔවුහු බහුතරය සෘජු හා වක්‍ර බදුවලින් මිරිකී සිටින්නෝය. ආර්ථික විශේෂඥ මතය අනුව ඇතැම් බදු යෝජනා මගින් ඉදිරියේ බඩු මිල ඉහළ යෑමක් අපෙක්ෂා කළ හැකිය. අස්වැසුම ලාභීන් ජාතික ආර්ථික යට සම්බන්ධ කර ඔවුන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමේ ක්‍රම වේදයක්ද දක්නට නැත. රාජ්‍ය සේවක ⁣යන් වැඩිලු. නමුත් තවත් අලුතින් බඳවා ගැනීමට යොජනා වී ඇත.

වතු සේවකයන් ගේ වැටුප් වැඩි කිරීමේදී ඊටද රජය දායකත්වයක් දරයි. එම මුදල පැටවෙන්නේද බදු ගෙවන සාමාන්‍ය ජනතාවටය. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට රජයට බල කළ හැකිද යන්න තවත් ගැටලුවකි. මේ උභතෝකෝටිකය වතු සේවක වැටුප් වැඩි කිරීමේ දීද බලපානු ඇත.

ජේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළිය පසුගිය අයවැයෙන් යෝජනා වී ක්‍රියාත්මක වූ අතර එයට අලුතින් ඉල්ලුම් කිරීම මේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වේ. මේ ගැන සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුණේ භාණ්ඩාගාරය මගින් බැංකු වෙත ගෙවිය යුතු මුදල් තවම ගෙවා නැති බවය.

ජනාධිපතිතුමා හැමදාමත් මන්ත්‍රයක් සේ ජපකරණ ඩිජිටල් ක්‍රියාවලිය හොඳය. එය අත්‍යාවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. එහෙත් ඇතැම් සේවා අංශ තවමත් ඇත්තේ බරකරත්ත යුගයේය. පන්නිපිටියට කිට්ටුව අප ප්‍රදේශයේ තැපැල් පියුන් මහතා නිවාඩු ගිය විට වෙනත් අයකු ලවා ඒ කාර්ය ඉටුකරවන්නේ නැත. ඔහු සුමාන දෙකක් වැඩට නාවත් තත්ත්වය එසේමය.

කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් අය වැය හොඳය. මාක්ස්වාදී හිසකට ලිබරල් ඇඟක් බද්ධ කිරීමේ දී සුළු සුළු අතුරු ආබාධ ඇතිවීම ස්වාභාවිකය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරක්: එක් අයෙකු ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක නොවැම්බර්10, කොළඹ LNW : බස් රථයක් අඩි...

මේ රජය යන මාර්ගය හොඳයි.එක හැන්දෙන් බෙදන බව පේනවා – සරත් ෆොන්සේකා

කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන...

බන්ධනාගාර ගැන ඇහෙන අමුතු කතා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : ගාල්ල බන්ධනාගාරයේ හෝ...

සිහින බොඳ කරමින් රහසේම ජීවිතය හැරගිය සිසුවිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10.කොළඹ LNW : මෙවර උසස් පෙළ විභාගයට...