සටහන – නිපුනි ලියනගේ
කොළඹ (LNW): ශ්‍රී ලංකාව පෞද්ගලික බස් රථවල දිනෙන් දින වැඩිවන දුරාචාර, මගීන්ට සිදුවන අතවර, කොන්දොස්තරවරුන්ගේ උඩඟු හැසිරීම් වැළැක්වීම සඳහා විශ්වාසදායක ප්‍රවාහන පද්ධතියක් සහ සීසීටීවී සවිකිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ප්‍රවාහන සේවාවල කාර්යක්ෂමතාව සහ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පරිදි GPS, ගමන් වේගය ඇතුළු දෑ නිරීක්ෂණය කිරීමට විශ්වාසදායක පද්ධතියක් සැපයීම මෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ පුද්ගලික බස් අංශය බස් රථ 19,000 කින් සමන්විත වන අතර ඒවා බොහෝ දුරට තනි වාහන හිමියන්ට අයත් වේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) දිවයින පුරා ගාස්තු සහ සේවා ප්‍රමිතීන් නියාමනය කරන අතර අන්තර් පළාත් බස් මාර්ග සඳහා බලපත්‍ර නියාමනය කරයි.
දැනට ශ්‍රී ලංකා බස් රථ වල අඩකට වඩා යොදවා ඇති ඉලෙක්ට්‍රොනික ටිකට් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දැනටමත් සාර්ථකව දියත් කර ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස් සේවා සඳහා ITS නියමු ව්‍යාපෘතියක් දියත් කර ඇති අතර, බස් රථ 70ක් පමණ ඒ සඳහා සම්බන්ධ කර ඇත.
මගී ප්‍රවාහන බස් රථවල CCTV කැමරා සවි කිරීම අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් තීරණය කර තිබෙන අතර පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
මගී බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී ජීපීඑස් තාක්ෂණය තිබීම අනිවාර්ය කරන ලෙස ද කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
