සටහන – රුවන් නෙළුගොල්ල
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් ඇයට එරෙහි අධිචෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වාගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේදී ය.
ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බවයි. ඇය වයස අවුරුදු 98ක වයෝවෘද්ධ තැනැත්තියක වන අතර ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිව ම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් නීතීඥවරයා සඳහන් කළේය.
මේ වනවිට ඇගේ මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත් මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් පැවසූ නීතීඥවරයා 2017 වසරේ මාර්තු 17 වන දා ගංගොඩවිල දිසා අධිකරණයෙන් ද සිය සේවාදායිකාවට ඇගේ පෞද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින් ඇයගේ දේපළ භාරකාරීත්වය වෙනත් අයෙකුට පවරන ලෙස නියෝගයක් නිකුත් කර තිබූ බවත් ඇගේ රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරුන් දැනුම් දී ඇති බවත් පැවසීය.
ඒ අනුව මෙම තත්ත්වය යටතේ සිය සේවාදායිකාවට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් සලකා බැලිය යුතු බවට ද නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය බවයි. එමෙන්ම දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ පිළිබඳව මෙම අධිකරණයට යළි කරුණු සලකා බැලීමට හැකියාව තිබෙන බවත් මෙම විත්තිකාරිය සම්බන්ධයෙන් යළි වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවශ්‍ය දැයි සලකා බැලිය යුතු බවත් ඒ සඳහා කාලය අවශ්‍ය බවත් පැවසීය.
දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා දෙවන විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන 26 වන දා කැඳවන ලෙස නියෝග කළේ ය.
