ඉල් මහේදී ලියූ කවිය ….

ඉපිද මැරෙන මිනිසුන් අතර අපමණ
සබඳ ඔබෙනි නෙත් ලැබුවේ මේ දෙරණ
තවද බොහෝ කල් වෙසෙතැයි සිතූ දින
කිමද සොයුර සමු ගත්තේ උදෑසන

වපුළ වපුළ බිජුවට ගිනිලන අයුරූ
උතුර උතුර ගැලු ගඟ වියලුන අයුරූ
හබල බිඳුන ඔරුවක තනිවුන සොයුරූ
නිසල සිතින් විඳ ගති ඉදිරියේ මරූ

වරා නොයෙක සම්පත් පුද ඇමැතිවර
දරා අනෙක අවමන් මිහිතලේ බර
ඉරා අඳුර හෙළිකළ මගකි පැහැබර
මරා දැමුණ මුත් නුදුටිමු මළ සිරුර

කඳුලෙන් ඉපිද රුහිරෙන් දිවිමග නිබඳ
ගෙවමින් කටුක දුක් ගිනි වැළැඳුව සබඳ
ගින්නෙන් ඔබේ රුව උන් මැකුවා වුවද
දිනු මේ බිමේ ඔබ ජීවත් වෙයි හෙටද

~ අජිත් සී. හේරත්
ලක්දිව- නිම්තෙර -1993 නොවැම්බර්