ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

Date:


නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW:

තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය රටේ ජනතාවගේ ගෞරවය උපරිමයෙන් අත්පත් කර ගන්නා කණ්ඩායමක් ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.එහෙත් වෙනත් ජාතියක උපහාරයට පත්වෙන කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයේ කිසිඳු ක්‍රිකට් කණ්ඩායමකට නොලැබෙනු ඇතැයි සිතිය නොහැකි ගෞරවයකට ඊයේ රාවල්පිණ්ඩිහී දී පාත්‍ර විය.ක්‍රීඩාංගණය සිංහ ධජවලින් පිරී පැවතිණ.ශ්‍රී ලංකාවේ නම කියා කෑ ගසන හඬවල්වලින් අඬුවක් නොවිණ.එහෙත් ඒ ආදරය සහ ගෞරවය ජයග්‍රහණයකින් භුක්ති විඳන්නට අවස්ථාව ශ්‍රී ලංකාව කණ්ඩායම අහිමි කර ගත්තේ බාබර් අසාම්ගෙන් පාඩමක් ද ඉගෙන ගනිමින් සහ නැවතත් උඩ පන්දු අත හැරීමෙන් තරග අත හැරෙන බවට නිතර ඉගෙන ගන්නා පාඩම යළිත් ඉගෙන ගනිමින්ය.එය එකක් නොවී උඩ පන්දු තුනක් වූ විට ප්‍රතිවාදියාට ඉතාමත් පහසු වන අතර ඒ නිසාම පකිස්තානය තරග තුනකින් යුත් තරගාවලියේ දෙවැන්න නිමා වන විටම එම තරගයේ ජය කඩුලු 8 ක ජයක් බවට පහසු කර ගනිමින් තරගාවලියේ ජය ද සහතික කර ගන්නට සමත් විය.පන්දුවාර 50 සම්පූර්ණ වීමට පන්දු 10 ක් මෙපිටින් තරගයේ ජය සනාත කර ගන්නට පකිස්තානයට හැකි විය.


ලකුණු සොයමින් සිටි බාබර් ඊයේ තරගයේදී තමන්ගෙන් දුරස්ව තිබෙන රිද්මය නැවත සොයා ගැනීමේ අවශ්‍යයතාවය වෙනුවෙන් පිත්ත උස්සා තදින් පහර දීම වෙනුවට වැඩි පුර කෙටි ලකුණු එකත් කර ගැනීමේ න්‍යාය තෝරා ගෙන තිබිණ.ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 288 ක ලකුණු පූවරුව හඹා යාමේ කාර්යය තුළ බාබර් පිටියට එන විට ලකුණු පූවරුවට ලකුණු 77 ක් එක් වී තිබිණ.පළමු කඩුල්ලේ වේගවත් සබඳතාවය සමඟ ඔහු එකතුවන විට ෆකර සමාන් පන්දුව හොඳින් දකිමින් සිටියේය.අවශ්‍යය ලකුණු වේගයට ආසන්නව ක්‍රියාත්මක වෙමින් තිබිණ.ඒ නිසා බාබර් ෆකාර්ගේ සහයකයා විය.


දෙදෙනාගේ සබඳතාවය හරියටම සියයක් වෙද්දි ෆාකර් පිටියෙන් ඉවත් විය.අනතුරුව පැමිණියේ බාබර්ගේ හොඳම සබඳතා රැසක සඟයා වූ මොහොමඩ් රිස්වාන්ය.රිස්වාන් සිය පළපුරුදු සඟයාට ලකුණු අතරට ඒමේ උවමනාවට සහය දෙමින් ප්‍රහාරයේ වැඩි බර තමන් පිට පටවා ගත්තේය.කඩුලු අටකින් තරගය ජය ගන්නා විට රිස්වාන් නොදැවී ලකුණු 51 ක් ලබා සිටියේ පන්දු 54 දී ය.බාබර් වෙහෙසකර ඉණිමක් නොදැවී නිමා කරමින් පකිස්තාන ජයග්‍රහණයේ පදනම වූයේ පන්දු 119 දී ලකුණු 102 ක් ලබා ගනිමින්ය.


එම ලකුණු 102 ට බාබර් අසාම් එල්ල කළේ හතරෙ පහර 8 ක් පමණි.ලකුණු 70 ක් ම ඔහු ලබා ගෙන තිබුණේ කෙටි ලකුණුවලින්ය.මේ සාමාන්‍යයෙන් බාබර් ගේ ක්‍රමය නොවුණත්,ඔහුට අවශ්‍යය වූයේ නැවත නැඟිටින්නට හොඳම ක්‍රමය තෝරා ගැනීමය.ශාරිරික යෝග්‍යතාවය හොඳින් තබා ගනිමින් නැවත නැඟිටින්නට වෙහෙස වන්නට සුදුසු මට්ටමක සිටි බාබර් එම ක්‍රමය හරහා පකිස්තානයට ජයග්‍රහණය ගෙන එමින් තරගයේ වීරයා ද විය.


පිත්තෙන් ලකුණු 54 ක් ලබමින් ශ්‍රී ලංකා ඉණිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කළ ජනිත් ලියනගේ පන්දු යැවීමේදී ද පන්දු ඕවර් 4 ක් යවමින් ලබා දුන්නේ ලකුණු 13 ක් පමණි.පන්දු ඕවර් 10 ට ම ලකුණු 35 ක් ලබා දුන් වනිදු හසරංග ඇරෙන්නට අන් සියල්ලම සැළකිය යුතු ප්‍රහාරයකට ලක් වෙද්දී ජනිත් පන්දු ඕවර් 4 සීමා කරේ ඇයි යන්න හසලංක ඇතුළු කණ්ඩායම දන්නා කරුණක්ය.
පළමු කඩුල්ලට ලකුණු 51 ක් එක් කරමින් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී පැතුම් නිශ්ශංක දුවද්දී දැවී යාමකට ගොඳුරු විය.එය ශ්‍රී ලංකා පිළෙ ලකුණු පූවරුව අවසානයේ ලබා ගත් ලකුණු ප්‍රමාණයට වඩා පොහොසත් පෙණුමකට යාමට ඇති කළ ප්‍රධාන බාධකය විය.පළමු කඩුල්ල ලකුණු 51 දී බිඳුනත් ඉනික්බිතිව දකින්නට ලැබුණේ හතරවන කඩුල්ල ලකුණු 98 දී බිඳ වැටීමය.චරිත් අසලංකා ලකුණු නැති පීඩනයට යළිත් ගොඳුරු වූයේ සිය නම ඉදිරියේ ඉලක්කම් දෙකක ලකුණ ප්‍රමාණයක් හෝ ලබා ගන්නට ඉඩ නැතුව ලකුණු 6 කට ය.


ඉනික්බිති ලකුණු 61 ක සබඳතාවයක් පස්වන කඩුල්ලට ඇති විය.ඒ සදීර සමරවික්‍රම (42) සහ ජනිත් ලියනගේ අතරය.අනතුරුව ඊට වඩා වේගවත් ලකුණු 73 ක සබඳතාවයක් ඇති වුයේ හයවන කඩුල්ලටය.ඒ ජනිත් ලියනගේ සහ කමිඳු මෙණ්ඩිස් (44) අතරය.කමිදු සහ ජනිත් ළඟ ළඟ දැවී යාමෙන් පසුව දුෂ්මන්ත චමීර දවා ගැනීමට ද පකිස්තානයට අවශ්‍යය වූයේ එක පන්දුවක් පමණය.
වෙනස් වී ඇති වනිදු හසරංග සෑම පන්දුවකටම හතරේ පහර සෙවීම වෙනුවට පෙනෙන්නට තිබෙන එක ලකණු වේගයෙන් දිව ගොස් ලකුණු 2 බට පත් කිරීම ද සහිතව තරගයේ අවසාන භාගයේ ප්‍රවේගකාරී ඉණිමක් දියත් කළේය.පන්දු 26 න් ලකුණු 37 ක් නොදැවී රැස් කළ වනිදු,ප්‍රමෝද් මධුශාන් (නොදැවී 11) සමඟ නවවන කඩුල්ලට ලකුණු 44 ක නොබිඳි සබඳතාවයක් ද පිහිටුවන්නට සමත් විය.නෂීම් ෂාගේ අවසන් පන්දු ඕවරයේ දී වනිදු මූලිකත්වය ගනිමින් ලකුණු 18 ක් උඳුරා ගන්නට සමත් වූ අතර ඒ අතර මතකයෙන් ඈත් නොවන සේ නෂීම්ගේ යෝකර් පන්දුවක් වනිඳු තර්ඩ්මෑන් කළාපයෙන් හතරේ සීමාව කරා හරහා යැවූ ආකාරයද රැදී තිබෙනු ඇත.
ලකුණු සටහනට මෙතනින් පිවිසෙන්න.- https://bit.ly/3WYg34j

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ සියල්ල කරන්නෙ ජනතාව වෙනුවෙන් – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කිසිවකු රජ...

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රී ලංකා විභාග...

ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන...

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...