කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි මහතා දෙසැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
2024 වසරේ ජනවාරි මස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා ආයතනයක් තෝරා ගැනීමට සියලු ප්‍රසම්පාදන කටයුතු සූදානම් කර තිබී ඇති අතර එසේ තිබියදී මෙම සැකකාර හිටපු සභාපතිවරයා අදාල ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (පරිපාලන) අමතමින් එම කාර්යය සඳහා JSF Holding සමාගම තෝරා ගන්නා ලෙස බලපෑම් සිදුකර ඇති බවත් එම ප්‍රසම්පාදන කටයුතු ඉටුකිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ප්‍රසම්පාදන අංශයක් තිබියදී එම කටයුතු මානව සම්පත් අංශය හරහා සිදු කරන ලෙස මෙම සැකකරු කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇති බවත් කොමිසමේ නිලධාරියා අධිකරණයට දක්වා තිබුණි.
එමෙන්ම අදාළ ටෙන්ඩරය සඳහා ලංසු බාර ගැනීමේ කාලය අවසන් වීමෙන් පසුව මෙම JSF සමාගම සිය ලංසුව ඉදිරිපත් කර ඇති අතර මේ හේතුවෙන් එය භාර ගැනීම ලංසු බාරගැනීමේ කමිටුවේ නිලධාරින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එසේ තිබියදී ප්‍රතික්‍ෂේප කරන ලද සමාගමේ අදාල ලංසුව යළි භාරගන්නා ලෙස මෙම සැකකරු විසින් අදාල කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවද විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ.
මෙම සිද්ධියට අදාළව මෙම කාර්යාංශයේ නිලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇපමත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දී ඇති බවත් ඔහු විමර්ශන කටයුතුවලට බාධා සිදුකළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් පැවසුවේය.
තම සේවාදායකයා ලංසු තෝරාගන්නා කමිටුවේ නිලධාරීන්ට බලපෑම් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් ප්‍රකාශ කළත් එවැනි බලපෑමක් එල්ල වූයේ නම් එම නිලධාරීන් විසින් අදාල ලේඛනවල ඒ පිළිබඳව සටහන් යොදනු ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එහෙත් එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් කිසිදු සටහනක් යොදා නොමැති බවද පැවසුවේය.
එමෙන්ම මෙම සිද්ධිය හරහා සිය සේවාදායකයාට කිසිදු ආර්ථික ලාභයක් අත් වී නොමැති බවත් ඔහු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.
එමෙන්ම සැකකරු 2019 වසරේ සිට රෝගී තත්ත්වයක් සඳහා සිංගප්පූරුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා බවත් විදේශගතව සිටි අවස්ථාවල පවා විමර්ශන කටයුතුවලට ඔහු පූර්ණ සහය දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එමෙන්ම ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින පුද්ගලයෙකු බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඇප පනත යටතේ ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරියා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයේ පළමු සැකකරුට පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණද මෙම සැකකරුට පොදු දේපල පනත යටතේ සිදු කළ වරදකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවේ මෙම සැකකරු අල්ලස් වශයෙන් යමක් ලබාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී නොමැති බවය.
ඒ අනුව පොදු දේපල පනත යටතේ වරදක් සිදු කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි මොහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ පවසා තිබේ.
කෙසේවෙතත් සැකකරුට පොදු දේපළ පනත යටතේ කරුණු ඉදිරිපත් කර තිබෙන හෙයින් ඔහුට ඇප නියම කිරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් වීම අත්‍යවශ්‍ය බව අධිකරණය ප්‍රකාශ කර ඇත.
