Thursday, February 9, 2023
spot_img

Latest Posts

අය-වැය අධීක්ෂණ කාර්යාංශයක් පිහිටුවීම ධනාත්මක දෙයක් – ධනනාත් ප්‍රනාන්දු

අය-වැය අධීක්ෂණ කාර්යාංශයක් පිහිටුවීම ධනාත්මක දෙයක් – ධනනාත් ප්‍රනාන්දු
ආර්ථික විශ්ලේෂක, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ඇඩ්වොකාටා ආයතනය

  • රජයේ සමාගම් ලාභ ලැබුවට කාර්යක්ෂම නැහැ
  • රාජ්‍ය සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් දිය යුතුයි
  • නිදහස් වෙළෙද ගිවිසුම් යෝජනාව කාලීනයි
  • හණමිටි කම්කරු නීති වෙනස් කරන්න ඕනෑ
  • මහ බැංකුව අනවශ්‍ය විදියට රජයට ණය දුන්නොත් අමාරුවෙ වැටෙන්න පුළුවන්

    ණය අර්බුදයෙන් ගොඩ ඒමට අය වැයෙන් යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හා ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට උද්ධමනය, පොලී අනුපාතය පාලනයට ගෙන ඇති පියවර ගැන ඇඩ්වොකාටා ආර්ථික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු දැක්වූ අදහස් මෙසේය.

◾බැලු බැල්මට අය-වැය ගැන ඔ‍බේ අදහස කුමක්ද?

රාජ්‍ය මූල්‍ය පාලනයට උත්සාහයක් දරා තිබෙනවා. එය හොඳ දෙයක්. වැටුප් ආදී පුනරාවර්තන වියදම් අඩු කළ නොහැකියි. ඒ නිසා වියදම් අඩු කිරීමට වඩා ආදායම් වැඩි කිරීම කෙරෙහි අවධානය දක්වා තිබෙන බව පෙනෙනවා. පවතින තත්ත්වය තුළ බදු අඩු කිරීම නොකර බැරි දෙයක්. තිබෙන ක්‍රමය සමඟ ඉදිරියට යන්න බැහැ. ජනතාව ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ නිසා බදු වැඩි කරන අතර, රජයේ වියදම් අඩු කරන බවට ඔවුන්ට පණිවුඩයක් දීමේ අවශ්‍යතාව තිබෙනවා. එවැනි නැඹුරුවක් දකින්න නැහැ.

ඒ වුණත් අයවැයේ යොමුව වැදගත්. රජය ව්‍යපාර කටයුතුවලින් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය ආර්ථිකයේ දිශානතිය පැත්තෙන් බලන විට වැදගත් අදහසක්. පෞද්ගලික අංශයට අවස්ථාව දීම හොඳ දෙයක්.

◾අය-වැය යෝජනා අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කාර්ය සාධක බළකායක් යෝජනා කර තිබෙනවා. මූල්‍ය විනය සම්බන්ධයෙන් සලකන විට මේ යෝජනාව වැදගත් වෙන්නේ කෙසේද?

බොහෝ වසරවල අය වැය යෝජනා හැටියට දකින්න ලැබෙන්නේ ඉලක්කම් එහෙට මෙහෙට කිරීමක් පමණයි. ඒ පසුබිම අය-වැය කාර්යාලයක් හැදීම හොඳ දෙයක්. මෙයට පෙර මංගල සමරවීර ඇමැතිවරයා යටතේ මෙවැනි ව්‍යුහයක් ගැන අදහසක් ඉදිරිපත් වුණා. එයට අමතරව වෙර්ටේ රිසච් ආයතන අය-වැය ඉලක්ක සාධනය වීම ගැන පසු විපරමක යෙදෙනවා.

අය වැය අනිවාර්යෙන්ම අධීක්ෂණය විය යුතු දෙයක්. සිරිතක් ලෙස අය-වැය කතාවේ පළමු පරිච්ඡේදය පසුගිය අවුරුද්දේ අය-වැයේ ප්‍රගතිය සඳහා වෙන් විය යුතුයි. ඒක අමතක කර අලුත් කතාවක් කිරීමෙන් රට ඉස්සරහට ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

ඒ පසුබිම තුළ අය වැය අධීක්ෂණ කාර්යාංශයක් පිහිටුවීම සහ විගණනය කිරීම හොඳ දෙයක්. ඒ අනුව පසුගිය අවුරුද්දේ අය-වැය ඉලක්ක සාධනය ගැන අදහසකට එන්න පුළුවන්.

◾මෙවර අය වැයෙන් ඉදිරිපත් කර ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ ටෙලිකොම්, එයාර් ලංකා, රක්ෂණ වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට අදහස් කරන බව දක්වා තිබෙනවා. එයාර් ලංකා වැනි ආර්ථිකයට බරක් වූ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැටලුවක් නොවූවත් ලාභ ලබන ආයතන පෞද්ගලීකකරණය කිරීම ගැටලු සහගත නොවේද?

පැට්‍රෝලියම් ආයතනය ලාභ ලබන බව ඒවායේ වෘත්තීය සමිති නියෝජිතයන් කියනවා මට පසුගිය දිනවල අහන්න ලැබුණා. ඉන්ධන බෙදාහැරීමේ කටයුත්තේ නිරතව සිටින්නේ ආයතන දෙකක් පමණයි. ඒ අතරින් අයිඕසී සමාගමට සීමිත ඉන්ධන හල් ප්‍රමාණයක් භාර දී තිබෙනවා. අනෙක් සියලුම ඉන්ධන හල් බෙදා හැරීම පැට්‍රෝලියම් සමාගම කරනවා. මේ ආයතනය සතුව රුපියල් බිලියන ගණනක වත්කම් තිබෙනවා. එවැනි වත්කම් ප්‍රමාණයක් තිබෙන ආයතනයක් මිලියන 20ක පමණ ලාභයක් ලබනවා කියන කතාව කිසිම තේරුමක් නැති දෙයක්. ලාභය ගණනය කිරීම කළ යුත්තේ වත්කම්වල ප්‍රමාණයට සාපේක්ෂවයි.

ආර්ථික විද්‍යාවට අනුව වත්කම් කියන්නේ සම්පත්වලටයි. ඒ අනුව ලාභය වත්කම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. ලාභ ලබනවා කියන බොහෝ රාජ්‍ය ආයතන එම ලාභ ලබන්නේ ඒ වත්කම්වල වටිනාකම නිසා මිසක් කාර්යක්ෂමතාව නිසා නෙමෙයි. මේ ආයතනවල ගිණුම්වල ලාභයක් පෙන්නුවට වත්කම්වලට සාපේක්ෂව ඒවා ඵලදායී ව්‍යාපාර විදියට ආර්ථික විද්‍යාවට අනුව සලකන්න බැහැ. එහෙම බැලුවොත් මෙවායේ තියෙන්නේ ඍණ ලාභයක්.

අනවශ්‍ය දේවල් මිලදී ගන්නා විට අත්‍යවශ්‍ය දේවල් විකුණන්න වෙනවා කියලා කතාවක් තියෙනවා. අපට වෙලා තියෙන්නෙ ඒ දෙයයි. අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා ඒවා පාඩු ලැබූ විට ඒ ආයතන ගන්න කිසිම ව්‍යාපාරිකයෙක් කැමැති වෙයි කියලා හිතන්න අමාරුයි.

◾ශ්‍රී ලංකාව විශාල ණය උගුලක හිර වී සිටින බව අප දන්නවා. ආණ්ඩුව ගෙන ඇති ණය ප්‍රමාණයට අතිරේකව රජයට අයත් ආයතන රැසක් ද විශාල වශයෙන් ණය ගෙන තිබෙනවා. මේ පසුබිම තුළ රජයේ ණය ශේෂ පත්‍රයට තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්ගේ ණය ඇතුළු කිරීමට අය වැයෙන් ඉදිරිපත් කර ඇති අදහස ගැන ඔබේ මතය කුමක්ද?

සමහර ණය එක එක ආයතන ඇතුළේ ගිණුම්වල සඟවා තිබෙනවා. මම හිතන ආකාරයට මේ යෝජනාව ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමඟ සම්බන්ධයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපේ ණය නිසි ආකාරයෙන් තක්සේරු කිරීම වැදගත්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ සාධකය සලකා බලනවා. ඒ කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජයට අයිති ව්‍යාපාරවල ණය රජයේ ණය විදියට සලකනවා. ඒ කරපු දේ නිවැරැදියි.

එහෙත් මේ ණය රජයට අයිති ණය ලෙස ලැයිස්තුගත කිරීමෙන් පමණක් ණය ප්‍රශ්නයෙන් අපට ගොඩ එන්න බැහැ. ඒ සඳහා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යොමු විය යුතුයි. ඒ සඳහා ණය හිමියන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන් සමඟ කේවල් කළ යුතුයි. කේවල් කිරීමේදී වාසියක් ගන්න නම් අපි ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. නීති රීති වෙනස් කළ යුතුයි.

◾ශ්‍රමය සම්බන්ධ නීතිරීති වෙනස් විය යුතු බවට අදහසක් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

කම්කරු නීති වෙනස් කිරීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. පෞද්ගලික අංශයේ රැකියාවකට සේවකයකු බඳවා ගත් පසු ඔහු රැකියාවට ගැළපෙන්නේ නැත්නම් පවතින නීති රීති අනුව ඉවත් කිරීම අමාරු දෙයක්. පුද්ගලික අංශය එකවර සේවකයන් ඉවත් කරයි කියන සැකය මත මේ විදියට නීතියක් ‍පනවා තියෙනවා. ‍ඒ සඳහා අවුරුදු ගණනාවකට කලින් තිබුණු පැරැණි මතවාදයක් බලපා තිබෙනවා.

පුද්ගලික අංශය කැපවීමෙන් සේවය කරන සේවකයකු නෙරපයි කියලා හිතන්න අමාරුයි. ඔවුන් එවැනි සේවකයන්ට වැටුප් වර්ධක දී රඳවා ගන්න උත්සාහ කරනවා. ඒ පසුබිම තුළ වැඩ නොකරන සේවකයන් ඉවත් කිරීමට ඉඩක් දිය යුතුයි. මේ තත්ත්වය තුළ තරගකාරී සේවකයන් බඳවා ගන්න අපහසුයි. ඒ නිසා මෙවැනි නීති ගෙන ඒම සාධනීය දෙයක්. අපේ කම්කරු නීති පරණ හණ මිටි අදහස් සකස් කළ ඒවා නිසා වර්තමානය ගැළපෙන්නෙ නැහැ.

◾වෙළෙඳපොළේ ස්ථායී මට්ටමක් ඇති කිරීම මහ බැංකුවේ කාර්යභාරයයි. ඒ සඳහා ඔවුන් ප්‍රතිපත්ති පොලී අනුපතා ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. මේ ගැන විවිධ විවේචන මතුව තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අපේ ප්‍රධාන සතුරා උද්ධමනයයි. ඒක වළක්වන්න පොලී අනුපාත වැඩි කර තිබෙනවා. එහෙත් හැමදාම පොලී අනුපාතය ඉහළ අගයක තියාගෙන ඉන්න අමාරුයි. උද්ධමනය පහළට පැමිණි පසු පොලී අනුපාතවල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මහ බැංකුව අනවශ්‍ය විදියට රජයට ණය දෙන්න ගත්තොත් ලොකු අමාරුවක වැටෙන්නන පුළුවන්. මෙතැනදී මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා වීම වැදගත්. මහ බැංකුවේ ව්‍යුහය අනුව ඒ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා. එහි වැදගත්ම මණ්ඩලය මුදල් මණ්ඩලයයි. නිල බලයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් වෙනවා. ඒ ආකෘතිය අනුව මහ බැංකුවේ ස්වාධීනත්වයට යම් හානියක් වෙනවා. ඒ නිසා මේ ව්‍යුහයත් ප්‍රතිව්‍යුහගත විය යුතුයි. මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට රජයේ අවධානය යොමුවීම වැදගත්. එහෙම නැතිව මහ බැංකුව දේශපාලනීකරණය වුණොත් විවිධ ප්‍රශ්න ඇති වෙනවා.

ආණ්ඩුව ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් යෝජනා කර තිබෙනවා. ‍එහෙත් මුදල් සංසරණය පිළිබඳ විද්‍යාව නිවැරැදිව හඳුනා නොගත්තොත් මේ එක ප්‍රතිසංස්කරණයක්වත් සාර්ථක වෙන්නේ නැහැ. ඒක අවබෝධ කර නොගත්තොත් ආර්ථික ගැටලු ඇතිවීම වළක්වන්න අමාරුයි. අපි අනවශ්‍ය විදියට පද්ධතියට මුදල් එක්කර, අපනයනකරුවන්ට විවිධ බාධක දැම්මොත් මේ ප්‍රශ්නය වැඩි වෙන්න පුළුවන්.

◾රජයේ සේවකයන්ගේ වැටුප් හා දීමනා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 90ක් පමණ වැය‍ වෙනවා. මේ තත්ත්වය ආර්ථිකයට විශාල බරක්. ආර්ථිකයේ නව පදනම අනුව රජයේ මැදිහත්වීම අඩු වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ අදහස ඔබ පිළිගන්නවාද?

රාජ්‍ය සේවය අඩු කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ සඳහා මුලින්ම කළ යුතු දෙය වන්නේ බඳවා ගැනීම් නැවැත්වීමයි. ඉන් පසුව දැනට රාජ්‍ය සේවයේ සිටින පිරිසට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න අවස්ථාව දිය යුතුයි. එයට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින තව පිරිසක් ඉන්නවා. ඔවුන්ට පෞද්ගලික අංශයේ රැකියාවකට ගියොත් රාජ්‍ය සේවයෙන් වැටුපට වඩා වැඩි වැටුපක් ගන්න පුළුවන්. ඔවුන් රාජ්‍ය සේවයේ රැඳි සිටින්නේ විශ්‍රාම වැටුප නිසයි. එවැනි පිරිසට ඔවුන්ගේ වැටුපෙන් කොටසක් පමණක් දී පෞද්ගලික අංශයේ රැකියාවකට යොමු වෙන්න අවස්ථාව දිය යුතුයි. එවිට ඔවුන්ට එළියේ වෙනත් රැකියාවකට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. එහෙම කළොත් රාජ්‍ය සේවක සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කරන්න පුළුවන්. ඔවුන්ගේ වැටුපෙන් කොටසක් දීමෙන් රජයේ වියදමත් අඩු වෙනවා.

රජයේ වියදම් අඩු කළ වුවත් සැලකිය යුතු සංඛ්‍යාවක් වියදම් හැටියට වැය වෙන්නේ පඩි සඳහායි. එවැනි පුනරාවර්තන වියදම් අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා කළ හැකි එකම දෙය ඉවත්වීම සඳහා අවස්ථාවක් දීම පමණයි. ඒක කරන්නෙ නැතිව වියදම් අඩු කරන්න අමාරුයි.

සේවක පිරිස අඩු කළ විට ඉඩකඩ ඉතිරි වෙනවා. ඒ ඉඩ වෙන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සංකීර්ණ සැලැස්මක් වුවමනායි. ඒ වගේ දෙයක් සමඟ බඩු වැඩි කිරීමක් කළා නම් එය වඩාත් ආකර්ශණීයයි.

◾කලාපීය රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට කර ඇති යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?

සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම වැනි දේවල් ක්‍රියාත්මක කරන බවට අයවැයෙන් ‍යෝජනා කර තිබෙනවා. එහි අදහස අපේ ‍රටෙන් සිංගප්පූරුවට අපනයනය කරන දේවල්වලට ඒ රටෙන් බදු ගහන්නේ නැති බවයි. ඉන්දියාව සහ සිංගප්පූරුව අතර වෙළෙඳ ගිවිසුමක් නැත්නම් ඉන්දියාවෙන් ඒ රටට අපනයනය කරන දේවල මිල වැඩියි. එහෙත් ශ්‍රී ලංකාවෙන් ඒ රටට ගෙන්වන භාණ්ඩවල මිල අඩුයි. එවිට සිංගප්පූරුවට අපනයනය කිරීමට බලාපොරොත්තු වන කර්මාන්තකරුවන් මේ රටේ ආයෝජන ආරම්භ කරනවා. ඒ නිසා එවැනි දේවල් විය යුතුයි.

වෙළෙඳ ගිවිසුම්වලට යෑම අපි අනිවාර්යෙන්ම කළයුතු දෙයක්. එ අතරම අපේ පැත්තෙන් වෙළෙඳපළ ක්‍රියාත්මක වෙන්න තිබෙන බාධක ඉවත් කළ යුතුයි. සිංගප්පූරුව වැනි රටවල් සමඟ ගිවිසුම්වලට යෑමෙන් ආයෝජනවලට විශාල ශක්තියක් ලැබෙනවා.

ලෙස ඔහු පිළිතුරු දුන්නේය .

රෂිකා හෙන්නායක
2022.11.30

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.