රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

Date:

ඇඩොල්ෆ් විසිනි

ශ්‍රී ලංකාව පවතින්නේ තීරණාත්මක අවස්ථාවක ය. දශක ගණනාවකින් පසු ඇති වූ දරුණුතම ස්වභාවික ආපදාවකින් පීඩා විඳිමින් සිටින රට ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ අවදානම් මාවතක තවමත් ගමන් කරමින් සිටියි. නායකත්වය, අත්දැකීම් සහ ආයතනික පරිණතභාවය අත්‍යාවශ්‍ය වන මොහොතක, රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීම සඳහා මූලිකත්වය ගත යුත්තේ කවුරුන්ද යන පැණය කේන්ද්‍රීය ස්ථානයට පත්ව ඇත. මෙම සන්දර්භය තුළ, රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පැමිණ සිය අත්දැකීම් බෙදා ගැනීමට බලගතු හේතුවක් තිබේ. මෙය දේශපාලන අවශ්‍යතාවයක් නොව, ජාතික හදිසි අවශ්‍යතාවයකි. 

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 150 කට අධික සංඛ්‍යාවක් පළමු වරට තේරී පත් වූ හෝ අත්දැකීම් අවම තැනැත්තන්වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රාජ්‍ය යාන්ත්‍රණය තබා සිල්ලර බඩු වෙළඳසැලක්වත් කලමනාකරණය කර නැත. දේශපාලනික කයිවාරුවෙන් රාජ්‍ය පාලනයක් සිදුකළ නොහැක. ඊට පරිපාලන සාක්ෂරතාවය, පද්ධතීන් පිළිබඳ අවබෝධය සහ අර්බුද කලමනාකරණය කිරීම සඳහා අවශ්‍ය විනය අවශ්‍ය ය. මෙකී බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිප්‍රායන් හොඳ විය හැකි ය, එහෙත් ප්‍රතිපත්ති, ආයතන, අර්බුද කලමනාකරණය සහ මහජන අපේක්ෂාවන් අතර පවතින අන්තර් ක්‍රියාකාරීත්වය මෙහෙයවීම සඳහා ඔවුන් සතු සන්නද්ධභාවය බොහෝ අවම ය. ඔවුන්ගේ දේශපාලන උද්යෝගය සහ පරිපාලන හැකියාව අතර පවතින පරතරය, වත්මන් ආපදා ප්‍රතිචාරය තුළ පෙර නොවූ විරූ අන්දමින් දෘෂ්‍යමාන වෙමින් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පැවති පාලනයන් පිළිබඳ ප්‍රභල විවේචකයකු ලෙස පුළුල් ගෞරවයකට පාත්‍ර වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, රජයක් පවත්වා ගෙන යාම සඳහා සම්පූර්ණයෙන් ම වෙනස් කුසලතා සමූහයක් අවශ්‍ය බව දැන් අමුඅමුවෙන් ඉගෙන ගනිමින් සිටියි. විපක්ෂ දේශපාලනය විවේචනය, පරමාදර්ශීයභාවය සහ අඩුපාඩු හෙළි කිරීම වැනි දේ සඳහා ඉඩ සලසයි. කෙසේවෙතත්, ආණ්ඩු කිරීමේදී අවශ්‍යවන්නේ ක්‍රියාවට නැංවීමයි. කාලෝචිත තීරණ ගැනීම, සම්බන්ධීකරණය, ආයතන කෙරෙහි අණ ලබා දීම, සහ අර්බුද හටගැනීම පෙරාතුව අවදානම් පුරෝකථනය කිරීමේ හැකියාව ආදිය ඊට ඇතුළත් ය. දිට්වා සුළිකුණාටුවට කඩිනම් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට වත්මන් ආණ්ඩුව දැක්වූ අරගලය මෙම කටුක යතාර්ථය මැනවින් පෙන්වා දෙයි. රාජ්‍ය යාන්ත්‍රණය කලමනාකරණය කිරීම අතින් ජනාධිපතිවරයාට අත්දැකීම් නොමැතිකමක් දක්නට ඇති අතර, තීරණාත්මක නායකත්වය වඩාත් අවශ්‍යවන මොහොතේ මෙම අත්දැකීම් නොමැතිකම ප්‍රමාදයන් සහ ආයතනවල ඇණහිටීමට දායක වී ඇති අයුරු නිරීක්ෂණයකළ හැකි ය. අර්බුදයක් අතරතුර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර රජයේ සේවාවන් වසා දැමීමෙන් මෙහි නරකම අවස්ථාව ඉස්මතු කළේය. 

අත්දැකීම්

තව ද, ජනාධිපතිවරයාට අත්දැකීම් බහුල කණ්ඩායමක් නොමැතිකමේ අඩුව ද පවතියි. පෞද්ගලික අංශයේ වෘත්තිකයන් අතළොස්සක් (ඔවුන්ගෙන් ද බොහෝදෙනෙකු ව්‍යාපාර හෝ පෞද්ගලික වාසි මත පදනම් නැවත නැවතත් පක්ෂපාතීත්වය මාරුකළ තැනැත්තන් ය) හැරුණු විට, පූර්ණ රජයක් කලමනාකරණය කිරීමට අවශ්‍ය ආයතනික ශක්තියක් ආණ්ඩුවට නොමැත. පෞද්ගලික අංශයේ විධායකයන් සැලසුම් කිරීම සහ උපායමාර්ග ආශ්‍රිත වැදගත් කුසලතාවලින් සමන්විත වූව ද, ආණ්ඩුකරණය සම්පූර්ණයෙන් ම වෙනස් ක්ෂේත්‍රයකි. රජය යනු සංස්ථාවක් නොවේ; එහි මෙහෙයුම් රඳා පවතින්නේ රාජ්‍ය පරිපාලනය, ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, නීති රාමු, සුභසාධනය, බහු ස්ථර නිලධරයන් සහ වගවීමේ පද්ධති මත ය. එබැවින්, ණයට මෙන් ලැබුණු විධායක නිලධාරීන්ට ගැඹුරු පරිපාලන අත්දැකීම් සහ දේශපාලන පරිණතභාවය නොමැතිකම සඳහා වන්දි ගෙවිය නොහැකි ය.

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහගේ වැදගත්කම පැහැදිලි වන්නේ මෙහිදී ය. දේශපාලන නැඹුරුවාවන් කුමක් වුවත්, පාලනය, ව්‍යවස්ථාමය ක්‍රියාවලීන් සහ ආයතනික පද්ධතීන් පිළිබඳ ඔහු සතු අවබෝධය වත්මන් දේශපාලන භූදර්ශනය තුළ අසමසම ය. ඔහුගේ අතීත කල්ක්‍රියාව (ප්‍රශංසාසහගත වූවත්, විවේචනාත්මක වූවත්) රාජ්‍ය යාන්ත්‍රණය කලමනාකරණය කිරීම, ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, ජාත්‍යන්තර ව සාකච්ඡා පැවැත්වීම සහ කැළඹිලි සහිත කාලවලදී රට මෙහෙයවීම වැනි කරුණු සම්බන්ධයෙන් පැහැදිලි හැකියාවන් පෙන්නුම් කරයි. ආර්ථික පරිහානියෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම කෙරේ ඔහුගේ නායකත්වය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ අර්බුද සන්සුන්ව හැසිරවීම ආදියෙන් සැලකියයුතු ලෙස හැඩගැසී ඇත. රට එකවර ආර්ථික අස්ථාවරත්වයකට සහ මානුෂීය ව්‍යසනයකට මුහුණදෙන මේ මොහොතේ, අත්දැකීම් යනු සුඛෝපභෝගී දෙයක් නොව අවශ්‍යතාවයක් බව පැවසිය යුතු ය. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ සිටිය යුත්තේ වත්මන් ආණ්ඩුව අඩපණ කිරීමට නොවේ. ඔහු සිටිය යුත්තේ ශක්තිමත්භාවය අත්‍යාවශ්‍ය මොහොතේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට ය.  

පාර්ලිමේන්තු විවාද මඟින් ආයතන හැසිරවීම, ස්ථාවර තීරණ ගැනීම සහ අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය පරිපාලන ශක්තිය ලබා ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. ජාතික හදිසි අවස්ථාවල දී රටකට අවශ්‍ය වන්නේ, දේශපාලනික වාසිය සඳහාවන සන්ධාන නොව නිපුණතා සන්ධාන ය. ජනපති අනුරට රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රදර්ශනය කිරීමට ද මෙය අවස්ථාවකි. සෑම අවස්ථාවකදීම විපක්ෂයට විවේචන එල්ල කිරීම සහ අපහාස කිරීම වෙනුවට, එක්ව ගැටළුවට මුහුණ දීම වඩා හොඳ ය. සහයෝගීතාවය යනු දුර්වලකමක් නොවේ – එය නායකත්වයයි. රටට අවශ්‍ය වන්නේ දේශපාලන රඟහලක් නොව එකමුතුකමයි; කයිවාරුව නොව හවුල්කාරීත්වයයි. ශ්‍රී ලාංකිකයන් දෑස් දල්වා බලාගෙන සිටින අතර, ඔවුන්ගේ විශ්වාසය සීඝ්‍රයෙන් ඛාදනය වෙමින් පවතී. ආණ්ඩුව දිගින් දිගටම හුදකලාව කටයුතු කළහොත්, තමාට පෙර සිටි නායකයන් විනාශයට පත්කිරීමට හේතු වූ වැරදිම හට ගැනීමේ අවදානමක් පවතී. මෙම බරපතල හෝරාවේ දී, තම පක්ෂයේ උද්දච්චකම පසෙකලා නැඟී සිටීමට ආණ්ඩුව කටයුතුකළ යුතු ය. රනිල් වික්‍රමසිංහ තම පෞද්ගලික අභිලාෂයන් පසෙකලා පාර්ලිමේන්තුවට එක්වී පාලනය ස්ථාවර කිරීම සඳහා කාර්යභාරයක් ඉටු කළ යුතු අතර, ජනාධිපතිවරයා එම පළපුරුදු දෑත් ප්‍රතික්ෂේප කරනු වෙනුවට වැළඳගත යුතු ය. ශ්‍රී ලංකාවට නිපුණතාවය, පරිණතභාවය සහ එකමුතුකම අවශ්‍යයි – මේ දැන් ම අවශ්‍යයි! 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ක්‍රිකට් ගැන වෙනසක් වෙනසක් සහිත ක්‍රිකට් ක්‍රීඩාවක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: විවිධ පාර්ශව හුදෙකලාව මේ...

රු. ලක්ෂ 100ක මූල්‍යමය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාවගෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : රට පත්වී තිබෙන...

ඝාතනයක් යැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : බඩල්කුඹුර පොලිස වසමට...