කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල ඉතිහාසය දෙවතාවක් අලුත් කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ (LNW):

ජාතික පොලිස් කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබූ අතර, මෙම ස්ථාන මාරුවේදී පළමු වතාවට පොලිස් නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබීම මෙරට පොලිස් ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමක් විය.

එලෙස අධ්‍යක්ෂවරිය ලෙස පත් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ පළමු නිලධාරිනිය වු කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල යි. 2008 වසරේ දී කාන්තා සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් පොලිස් සේවයට එක් වී ඇති ඇය, මෙරට පොලිස් ඉතිහාසයේ කාන්තා සහකාර පොලිස් අධිකාරි නිලයට පත්වු නිලධාරිනියන් තිදෙනාගෙන් අයෙකි.

තවද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී සහ විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිනියක් ද වන අතර, මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි.

“ඇත්තටම සතුටුයි කාන්තාවක් විදියට මේ වගේ අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන්. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා පොලිසියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වගේ වගකීම් වැඩි ස්ථානයකට කාන්තාවක් පත් කරපු එක ගැන.” යැයි නව පත්වීම් ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල පැවසීය.

මෙවැනි පත්විම් හරහා ස්ත්‍රී පුරුෂ සමානතාවය ඇති වෙමින් ලෝකයේ අවශ්‍යතාවන්ට අනුව මෙරට ද වෙනස් වෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇය සතුටු පළ කළ අතර, විනිවිදභාවයෙන් යුතුව විමර්ශන සිදුකරමින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නව අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.