සටහන – රුවන් නෙළුගොල්ල
වත්මන් රජය විශාල ජනවරමක් හා වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලැබ පාර්ලිමේන්තු නියෝජනත්වය ලැබ ආරම්භයේදීම කළේ අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ අයිඑම්එෆ් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරිම බවත් මේ ක්‍රියාව බරපතල පාවාදීමක් බවත් ජනතාව රැවටීමක් බවත් විපක්ෂයේ සිටි කාලයේ අයිඑම්එෆ් ගිවිසුමේ ඇති අඩුපාඩුකම් ගැන කතා කර ඒවා නිවැරදි කර නව ගිවිසුමකට යොමුවෙනවා යැයි කීවත් බලය ලැබුණු පසු ඒ පොරොන්දු කඩ කළ බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අප රට ද්වීපාර්ශ්වීය සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර ණය හිමියන් සමඟ ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට යොමු වූ අවස්ථාවේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරිම හරහා රටට වාසියක් නොවන බවත් අයිඑම්එෆ් රාමුව තුළ රටටත් ජනතාවටත් වැඩි වාසියක් ලබන නව අයිඑම්එෆ් ගිවිසුමකට යා යුතු බවට යෝජනා කළ බවත් එදා ජනතා විමුක්ති පෙරමුණ ද කියා සිටියේ නව ණය තිරසරණකරණ ගිවිසුමකට ප්‍රවේශ වී නව වැඩපිළිවෙළකට යන බවක් වුවත් දිනපු ගමන් කියපු දේ අමතක කර කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය එකඟ වූ, රටට අවාසිදායක ජනතාවට සෙතක් සැලසෙන්නේ නැති ගිවිසුමකට යාම බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.
මේ නිසා ජනතාවගේ අසහනය, පීඩනය, ණයබරතාව වැඩි වී සමාජයේ අවදානම් සහිත කොටස්වලට ළදරුවන්ට මව්වරුන්ට තරුණ පරපුරට විශාල ලෙස අගතිගාමී බලපෑම් සිදුවන බවත් මේ ගිවිසුම හරහා අවසානයේ ගෙවන්නට ඇති ණය කප්පාදු වනවා වෙනුවට අමතර ඇ. ඩොලර් බිලියන 2.3ක ණයක් ද ගෙවීමට සිදුවන බවත් ඒ අනුව, තිබුණටත් වඩා ණය ගෙවීමට සිදුවන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හිමියන් සමග සාකච්ඡා පැවැත්වීමේ දී ලසාර්ඩ්, ක්ලිෆර්ඩ් චාන්ස් කියන සමාගම ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා වල රට වෙනුවෙන් පෙනී සිටින බවත් ඝානා රටේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර හිමියන් සමග පැවැති සාකච්ඡාවේදී ඝානාවට ලැබුණු සහනය අප රටට ලබා ගැනීමට නොහැකි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඝානාවට ගෙවිය යුතු ණයෙන් 37%ක් අඩුකර ගත හැකි වුවත් අප රටට ණය කප්පාදුවක් වෙනුවට වැඩිපුර ණය ගෙවීමට සිදුව ඇති බවත් පැවසීය.
එම නිසා රටක් ලෙස අවාසිදායක ගිවිසුමකට නොයා පාර්ලිමේන්තුවේ මතය මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සොයා බැලිය යුතු බවත් ලංකාවට අවාසිදායක ගිවිසුමකට නොයා යුතු බවත් අප රටේ ණයබරතාව වැඩිවන විට සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර ක්ෂේත්රවල ගැටලු රැසක් ඇතිවන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මීගමුවේ පැවැති ජනහමුවක් අමතමිනි.