*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

අලුත් ගමනකට අලුත් ආණ්ඩු ක්‍රමයක්! සංයුක්ත ආණ්ඩුවක්.සසංගත පාලනයක්!

කොළඹ LNW:“ආප්ප බානවා වගේ, බිත්තර රොටී හදනවා වගේ ව්‍යවස්ථා සංශෝධන ගේන්න බෑ. ටික දවසක් දෙන්න.” – නලින් හේවගේ

ඔව්! ඔව්!! ඒක ඇත්ත. ඒත් ආයෙත් සංශෝධන නම් ගේන්න එපා. ප්‍රමාණවත් කාලයක් අරගෙන අලුත්ම ව්‍යවස්ථාවක් ගේන්න. මේ සංකීර්ණ අකාර්යක්ෂම ආණ්ඩු ක්‍රමය අහෝසි කරලා සරල කාර්‍යක්ෂම ආණ්ඩු ක්‍රමයක් හදන්න. ජවිපෙට හුරු පුරුදු මධ්‍යගතවාදී සංවිධාන ව්‍යුහය සහ ප්‍රජාතාන්ත්‍රික සමාජයට හුරු පුරුදු මැතිවරණ ක්‍රමය ඇසුරෙන් ජවිපෙට පුළුවන් වෙයි ඉතාම හොඳ ආණ්ඩු ක්‍රමයක් හදන්න. ඒත් පහුගිය කාළේ මට අනුරගෙන් ඇහුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පරණ තිබ්බ ක්‍රමයටම යනවා වගේ අදහසක්.

විධායකයේ ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින්ම පත් කර ගත්ත පරණ වෙස්ට්මිනිටර් ක්‍රමයම ආයෙත් ස්ථාපිත කරනවා කියන්නේ අලුත් ආණ්ඩු ක්‍රමයක් නම් නොවෙයි. රට ගොඩ ගන්න ඒ ක්‍රමය ඇත්තටම ප්‍රමාණවත් වුණා නම් “බොනපාට්වාදී” ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන්නේ නෑනේ. අහෝසි කරනවා කියල පොරොන්දු වුණාට ඊට පස්සේ ආපු අය ඒ ක්‍රමය දිගටම තියා ගත්තේ ලැබිච්ච බලය අත හරින්න ලෝබ වෙච්ච නිසාම කියලා කියන්න මම නම් කැමති නෑ. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරලා අනුර වුණත් ඒ බලය අතහරින එකට මං කැමති නෑ. මොකද? එංගලන්තයේ ආදර්ශමත් සම්ප්‍රදායික දේශපාලන චර්‍යාවට ගැලපුණාට ඒක අපිට ගැලපෙන්නේ නෑ. කොටින්ම ප්‍රමාණවත් නෑ. ඔව්! මහ මැතිවරණයෙන් බාහිරව වෙනම ඡන්දෙකින් විධායකයේ ප්‍රධානියා තෝරන මේ තියෙන ක්‍රමය නැති කරන එක නම් හොඳයි තමා. ඒත් ශක්තිමත් විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් ඒ වෙනුවට ආදේශ කරන්න ඕන. ඒ වගේම ඒ අලුත් ආණ්ඩු ක්‍රමයෙන් ව්‍යවස්ථාදායකය වුණත් මීට වඩා පුළුල් සහ ප්‍රබුද්ධ ව්‍යුහයක් බවට පත් කළ යුතුයි.

බලය විමධ්‍යගත කරන්නත් යෝජනාවක්

පලාත් සභා සහ පලාත් පාලන සභා වශයෙන් බලය විමධ්‍යගත කිරීම අවශ්‍ය දෙයක්. ඒත් ඒක මීට වඩා විධිමත් විදිහකට සිද්ධ කරන්න ඕන. පලාත් සභා සහ පලාත් පාලන සභාවලට අමතර වශයෙන් මං යෝජනා කරනවා ඒවාට අතරින් දිස්ත්‍රික් සභා ක්‍රමයකුත් ගේන්න කියලා. මං එහෙම කියන කොට සමහරු කියයි එහෙම කළොත් ආණ්ඩු ක්‍රම ව්‍යුහය මේ තියෙනවටත් වඩා සංකීර්ණ වෙලා වියදමුත් වැඩි වෙයි කියලා. නෑ! මං යෝජනා කරන ප්‍රාදේශීය බෙදීම් ක්‍රමය, ආණ්ඩු ක්‍රමය සහ ඊට අදාල මැතිවරණ ක්‍රමය ඇතුලේ එහෙම දෙයක් වෙන්නේ නෑ. දිස්ත්‍රික් සභා නිසා ව්‍යුහයන් ප්‍රමාණය වැඩි වුණාට අනිවාර්යයෙන්ම ව්‍යුහයන්ට අයත් ඔලු ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න ඕන. එතකොට ආණ්ඩුවේ ස්වරූපය මීට වඩා සරල වෙනවා. කටයුතු සිද්ධ වෙන්නේ මධ්‍යගතව නිසා වියදමුත් අඩු වෙනවා. ඒත් කාර්‍ය සාධන බලය පහළ මට්ටම දක්වා ඉතා හොඳින් විමධ්‍යගත කරන නිසා සහ එහිදී අවශ්‍ය තරම් පිරිසක් පාලනයට හවුල් වෙන නිසා හැම කටයුත්තක්ම වගේ වේගයෙන් ඉෂ්ඨ කර ගන්නත් පුළුවන්.

මතුපිටින් විතරක් අහලා කවුරු හරි කෙනෙක් මං මේ කියන ක්‍රමයට බය වෙන්නේ සැකයක් නෑ. ඒ ක්‍රමයෙන් එකපාරටම සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් එයාගේ ඔලුවට එන හින්දා. බය වෙන්න එපා! ජවිපෙ කැමැත්තෙන් ඉන්න, සමාජවාදී දේශපාලන ක්‍රමයට ආවේණික, තනි පක්ෂ ක්‍රමය මගේ ඒ යෝජනාව ඇතුලේ ඇත්තෙම නෑ. ආණ්ඩු ක්‍රමය ප්‍රජාතාන්ත්‍රික වෙන්න නම් බහුපක්ෂ ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය තියෙන්නම ඕන. ඒත් ඇත්ත වශයෙන්ම තියන්න ඕන එකම එක මැතිවරණයක් විතරයි. සියලු සභාවන් සඳහා පවත්වන්නේ එකම එක මැතිවරණයක් වුණොත් මැතිවරණ වියදමත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා.

ඔව්! ඒ එකම එක මැතිවරණය හොඳටම ඇති ආණ්ඩුව ජාතික සභාව වශයෙන්, පළාත් සභා වශයෙන්, දිස්ත්‍රික් සභා වශයෙන් සහ පුරවර සභා වශයෙන් ස්ථාපිත කරන්න. ඒ කියන්නේ එකම මැතිවරණයකින් ඒ හැම සභාවක්ම පිහිටුවන්න ඕන කියන එකයි මං යෝජනා කරන්නේ. බැරි නෑනේ. මැතිවරණයේ ජාතික ඡන්ද ප්‍රතිඵලය අනුව මහ ආණ්ඩුව, පලාත් ප්‍රතිඵල අනුව පලාත් ආණ්ඩු, දිස්ත්‍රික් ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් ආණ්ඩු, පුරවර ප්‍රතිඵල අනුව පුරවර ආණ්ඩු.

ඉතිං ඒකට අදාලව මං යෝජනා කරනවා යටත් විජිත කාලෙ වගේ ආයෙත් ලංකාව උතුර, දකුණ, පෙරදිග, බටහිර සහ මධ්‍යම වශයෙන් පළාත් පහකට බෙදලා, ඒ-ඒ පළාතක් දිස්ත්‍රික් පහකට බෙදලා, ඒ-ඒ දිස්ත්‍රික්කයක් පුරවර පහකටත් බෙදන්න කියලා. එතකොට ආණ්ඩුව හැදෙන්නේ පොදු ජාතික සභාවකින්, පළාත් සභා පහකින්, දිස්ත්‍රික් සභා විසි පහකින් සහ පුර සභා එකසිය විසි පහකින්. එහෙම ව්‍යුහයක් ඇතුළේ කාර්‍ය සාධන බලය ඒ හැම පියවරකින්ම කේන්ද්‍රයේ සිට පරිවාරයට ඉතා ප්‍රවේශම් සහගතව විමධ්‍යගත කරන්න පුළුවන් වුණාම හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි. උතුරේ බෙදුම්වාදී ප්‍රශ්නයට වාර්ගික නොවන ඓන්ද්‍රීය විසඳුමක් මේකෙන් ලැබෙනවා.

ඒ ප්‍රාදේශීය බෙදීම් සිද්ධ කරන්නේ වාර්ගික පදනමින් නොවෙයි. ඒත් යටින්ම තියෙන පුරසභාවලදී සුළු ජාතීන්ට ස්වයං පාලන ඒකක ඉබේම වගේ ලැබෙනවා. පුරවරයට අදාල ප්‍රශ්න පුරවරයටම විසඳගන්න පුළුවන් විදිහට ඒවාට ප්‍රමාණවත් බලතල දෙන්න ඕන. ඒ වගේම ආණ්ඩු ක්‍රමයෙන් බහැරව ඒවාට සම්මේලනයක් වශයෙන් එකතු වෙලා ඔවුන්ට ආවේණික සාධාරණ ගැටලුවලට පිලිතුරු හොයන්න නෛතික ඉඩකඩකුත් ව්‍යවස්ථාවෙන් දුන්නට කමක් නෑ.

ඒ කියන සම්මේලනය “ඊලාම්” කියලා ඒ ගොල්ලෝ නම් කර ගත්තට සිංහලු ඒකට කලබල වෙන්න ඕන නෑ. මොකද ඒ කියන සම්මේලනය සහයෝගිතා ව්‍යුහයක් මිසක් ආණ්ඩු ක්‍රමයේ කොටසක් නොවෙයිනේ. ඇරැත් නිරුක්තිය අනුව ඊලාම් කියන වචනය හැදෙන්නේ සිංහල සිහල වෙලා, සිහල සීල වෙලා, සීල හීල වෙලා, හීල ඊල වෙලා ඊල ඊලාම් වෙලා නම් ඉතිං ඊලාම් කියන්නේ සිංහල කියන එකමනේ කියලා හිත හදා ගන්න සිංහලුන්ට බැරිද? රාජ්‍යයේ ජාතික පැවැත්මට කිසිම හානියක් වෙන්න දෙන්න බෑ තමයි. ඒත් අපි සුළු ජාතීන්ගේ හැඟීම්වලට සාධාරණ නැමියාවක් දක්වන්න ඕන.

සමානාත්මතාව ව්‍යවස්ථාවෙන් සහතික කළාට මහජාතියක් එක්ක සුළුජාතීන් ජීවත් වෙන්නේ අවප්‍රමාණික හැඟීමකින්. ඒත් විශාල ප්‍රාදේශික අනන්‍යතාවක් එක්ක ජීවත් වෙන අයගේ හැඟීම ඊට වඩා වෙනස්. එතන තියෙන්නේ හීනමානය මැඩගෙන නැගෙන අභිමානයක්. ඒ අය කැමතියි කුමන තරමක හෝ දේශපාලනික ස්වාධීනත්වයකට. අපි ඒ හැඟීම පාගා දැමීම කොහෙත්ම සාධාරණ නෑ.

හිතල බලන්න, යම් විදිහකට ලංකාව ඉන්දියාවට දේශපාලනිකව ඈඳිලා දිල්ලියෙන් පාලනය වුණා නම් සිංහලයා තුළ ඇති වෙන්නෙත් එහෙම හැඟීමක්. එහෙම තත්ත්වයක් ඇතුළේ ඉන්දියාවෙන් ලංකාවට ෆෙඩරල් බලයක් දීම සාධාරණ වුණත්, ලංකාව කියන පුංචි භූමිය ඇතුලේ දෙමළ ජනතාවට ෆෙඩරල් රාජ්‍යයක් දෙන එක නම් ඉතා ප්‍රශ්න සහගතයි. කරුණු සුළුවෙන් හිතලා දෙන්න බැරි කමක් නෑ. ඒත් ඊට පස්සේ රටේ උදාවෙන තත්ත්වය දෙමළ ජනතාවට පවා යහපත් වෙන්නේ නැති වෙයි කියල තමයි මට නම් හිතෙන්නේ. මොකද? දෙමළ ජනතාවගෙන් විශාල පිරිසක් ලංකාව පුරාමත් ඉන්නවා.

සුදුසුම දේ තමයි පුරසභාවලට පුළුල් බලතල ලබා දෙන එක. ඒ ලබා දෙන බලය අවභාවිතා කිරීම වලක්වන්න ඉහළින් තිබෙන සභාවලට පුළුවන්. මොකද? ඉහළම සභාව (ජාතික සභාව) සතු නිරපේක්ෂ බලය තමයි අතරමැදි සභාවන් (පලාත් සභා සහ දිස්ත්‍රික් සභා) ඔස්සේ අනුක්‍රමිකව පුර සභාවලට දෙන්නේ. අත්තනෝමතික ලෙස කටයුතු නොකරන තාක් පහළ සභාවන්ට ඉහළ සභාවන් විසින් නිදහස ලබා දෙනවා.

වාර්ගික මානසිකත්වය ඉවත් කිරීම

ප්‍රමාද වෙමින් පවතින ලාංකීය ජාතිකත්වය සහතික කිරීම කඩිනම් සමාජ-මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක් මගින් ඉක්මන් කළ යුතුයි. එමගින් වාර්ගික මානසිකත්වය වහ-වහා ඉක්මවිය යුතුයි. ගෝලීය මානසිකත්වය ප්‍රවර්ධනය කරන තරමට වාර්ගික හැඟීම් දුර්වල කරන්න පුළුවන් නිසා, ගෝලීයකරණය ගැන මේ තියෙන දූපත්වාදී අනිසි බිය වහ-වහා දුරුකළ යුතුයි. වාර්ගිකත්වයට වඩා ජාතික මානසිකත්වය වර්ධනය වෙන දේශපාලන චර්‍යාවක් ක්‍රියාත්මක වෙන ආණ්ඩුක්‍රම ප්‍රඥප්තියකුත් ව්‍යවස්ථාවට එකතු කරන්න ඕන.

වඩාත් හොඳයි කියලා හිතනවා මහමැතිවරණයෙන් ඉස්සෙල්ලම විධායකය තෝරන එක. ඒක කරන්නේ මෙහෙමයි.

  1. ජාතික සභාවේ විධායකය වෙන්න ඕන රටේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සරල බහුතරය දිනාගන්නා පක්ෂයේ ජාතික කමිටුව. එතකොට රටේ පාලකයා වෙන්නේ ඒ පක්ෂ කමිටුවේ නායකයා.
  2. පලාත් සභාවක විධායකය වෙන්න ඕන ඒ-ඒ පලාතට අදාල සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සරල බහුතරයක් දිනා ගන්නා පක්ෂයේ පලාත් කමිටුව. එතකොට යම් පලාතක පාලකයා වෙන්නේ ඒ පලාත් පක්ෂ කමිටුවේ නායකයා.
  3. දිස්ත්‍රික් සභාවක විධායකය වෙන්න ඕන ඒ-ඒ දිස්ත්‍රික්කයට අදාල සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සරල බහුතරය දිනා ගන්නා පක්ෂයේ දිස්ත්‍රික් කමිටුව. එතකොට දිස්ත්‍රික්කයක පාලකයා වෙන්නේ ඒ දිස්ත්‍රික් පක්ෂ කමිටුවේ නායකයා.
  4. පුරවර සභාවක විධායකය වෙන්න ඕන ඒ-ඒ පුරවරයට අදාල සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සරල බහුතරය දිනා ගන්නා පක්ෂයේ පුරවර කමිටුව. එතකොට පුරවරයක පාලකයා වෙන්නේ ඒ පුරවර පක්ෂ කමිටුවේ නායකයා.

ඉතිං ඒ සඳහා හැම පක්ෂයක්ම වාගේ ඒ විදිහට තමන්ගේ සංවිධාන ව්‍යුහය හදා ගන්නත් වෙනවා. මං දන්න විදිහට ජ.වි.පෙ.ට මේ ක්‍රමය හොඳටම හුරුයි. ඒ වගේම ඒක හොඳ ක්‍රමයක්. මොකද හරි කාර්‍යක්ෂමයි. පක්ෂයක් විදිහට ජවිපෙ කටයුතු විනයානුකූල පිළිවෙලකට සිද්ධ වෙන්නේ ඒ නිසා. ඒ පිළිවෙලට ආසන්නව හිතලා මං මේ යෝජනා කරන ආණ්ඩු ක්‍රමය හදා ගත්තොත්, මං හිතන්නේ දැනට විඳින අපහසුකම් (නුහුරුකම) පවා නැති වෙලා යයි.

ඒත් ආණ්ඩු ක්‍රමයේ මේ ස්වරූපයට ගැලපෙන විදිහට ආණ්ඩුවේ පරිපාලන ව්‍යුහය (නිළධාරි තන්ත්‍රය) පවා අලුතින් සකස් කරන්න ඕන. ඒ කියන්නේ ජාතික ලේකම්වරයෙකුට යටත් ජාතික පරිපාලන ව්‍යුහයක් උඩින්ම තියෙන්න ඕන. ඊට පස්සේ පලාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ පුරවර මට්ටමින් එහෙම ව්‍යුහයන් ස්ථාපිත කරන්න ඕන. විධායකයේ සියලු නායකයින්ට සමගාමීව එතකොට ජාතික රාජ්‍ය ලේකම් කෙනෙක්, පලාත් රාජ්‍ය ලේකම්වරු පස් දෙනෙක්, දිස්ත්‍රික් රාජ්‍ය ලේකම්වරු විසිපස් දෙනෙක් සහ පුරවර රාජ්‍ය ලේකම්වරු එකසිය විසිපස් දෙනෙක් දකින්න ලැබෙයි. ව්‍යුහයේ මූලික සහ නිෂ්චිත වෙනසක් සිදු වුණාට මේ කියන්නේ දැනට පවතින තත්ත්වය සුණු විසුණු කරමින් බිහි කරන අමුතුම අමුතු පරිපාලන ව්‍යුහයක් ගැන නොවෙයි. මේ ඉන්න නිළධාරීන්ම සහ මේ තියෙන ව්‍යුහයන්ම සුළු වෙනස්කම් ප්‍රමාණයකට විතරක් ලක් කරලා මා විසින් යෝජිත ක්‍රමයට නිසි ලෙස ගලපා ගන්න බැරි නෑ.

නිළධාරීන් කියන්නේ විධායකයේ ස්ථාවර සාමාජිකයින්. ඒ- ඒ කටයුතු අරඹයා න්‍යායිකව සහ ප්‍රායෝගිකව නිසි දැනුමක් තියෙන්නේ නිළධාරීන්ට බවට විවාදයක් නෑ. ආණ්ඩුකරණයේ ප්‍රජාතාන්ත්‍රික බව වෙනුවෙන් තමා මැතිවරණයකින් ඔවුන්ට ඉහළින් ජනතා නායකයින් පිරිසක් පත් කර ගන්නේ. නිළධාරීන් වැඩ කරන්න දන්නවා. ඔවුන්ගෙන් හරියට වැඩක් ගන්න එක තමයි ඡන්දෙන් පත්වෙන ජනතා නායකයින් කරන්න ඕන.

ඡන්දෙන් පත් කර ගන්නා ජනතා නායකයින් නැති වුණොත් ආණ්ඩුව නිළධාරිවාදයට ගොදුරු වෙනවා. සමාජවාදී රටවල්වල තියෙන්නේ ආසන්න වශයෙන් එහෙම ක්‍රමයක්. තනි පක්ෂයක් රට පාලනය කරනවා. පාලකයෝ කියන්නේ බොහෝ විට ඒ පක්ෂයේ නිළධාරීන්. රුසියාවේ සෝවියට් සභාවලට නියෝජිතයින් ඡන්දෙන් පත් කළාට රුසියානු කොමියුනිස්ට් පක්ෂය ඒ සියල්ලටම උඩින් හිටියා. එහෙම ක්‍රමයක් නම් අපිට එපා.

ජාතික, පලාත්, දිස්ත්‍රික් සහ පුරවර යන සියලුම ව්‍යවස්ථාදායක සභාවන් සඳහා නියෝජිතයින් (මන්ත්‍රීවරු) තෝරා පත් කර ගන්නත් ඕන ජාතික, පලාත්, දිස්ත්‍රික් සහ පුරවර වශයෙන් වූ ඒ- ඒ මැතිවරණ කොට්ඨාශවල සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ඒ-ඒ පක්ෂයක් ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය අනුව. ඒ කියන්නේ දැනටමත් ක්‍රියාත්මක වෙන සමානුපාතික නියෝජන ක්‍රමය අනුව. ඒත් ඒ මංත්‍රීවරු පක්ෂවල ස්ථාවර සාමාජිකයින් වීම අත්‍යාවශ්‍ය කරුණක් නොවෙයි. කොටින්ම අවුරුදු පහ පුරාවට ව්‍යවස්ථාදායකයේ රැස්වීම්වලට, තෝරාගත් එකම කණ්ඩායමක් විතරක්ම සහභාගිවීම අවශ්‍ය වෙන්නේ නෑ.

ව්‍යවස්ථාදායක සභාවන් රැස් වෙන්නේ නොයෙක් කරුණු අරබයා නෛතික පදනමකින් තීන්දු තීරණ ගන්න. ඉතිං ඒ-ඒ කාරණාවක් ගැන තීන්දුවක් ගන්න ඕන ඒ- ඒ කරුණක් ගැන පරිචයක් ඇති මිනිස්සු එකතු වෙලා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය සේවාවට අදාළ දේවල් ගැන කතා කරන්න සුදුසු වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය එකතු වෙලා. ඒ නිසා සෞඛ්‍ය පිළිබඳ කාරණා කතා කරන දවස් වලදී, ඒ-ඒ පක්ෂවලින් යවන්න ඕන එහෙම පුද්ගලයෝ. ඒත් අවශ්‍ය තත්ත්වයක් තුළ එකම දවසකදී ක්ෂේත්‍ර කීපයකම ප්‍රශ්න කතා කරන්න වුණොත් මොකද කරන්නේ. රැස්වෙන්නේ කොහෙද කියලා ප්‍රශ්නයක් ඇති වෙනවානේ නේද?

ඉතිං බැරිද එදාට පන්සලක, පල්ලියක, ප්‍රජා ශාලාවක, දේශන ශාලාවක, රංග ශාලාවක වගේ තැනක වුණත් රැස්වෙලා එහෙම සාකච්ඡා වට පවත්වන්න. හරිම සරලයි. ප්‍රජාතාන්ත්‍රික යි. ඉස්සර ග්‍රීසියේ ඇතන්ස් රාජ්‍යයෙත් ඒ විදිහට කටයුතු කෙරෙන්න ඇති. ඉතිං නරකද එහෙම වෙන එක? සමාලෝචනයන් සඳහා සහ අවසන් තීරණ සඳහා අදාල ප්‍රධාන ස්ථානයේදී රැස්වෙන්න බැරි නෑනේ. දේශපාලනය ජීවනෝපායක් කර ගන්න බලාගෙන දේශාපාලනයට එන අය මේ වගේ ක්‍රමයකට කැමති වෙන්නේ නැති වෙයි. ඉතිං හොඳයිනේ. එහෙම අයට දොර ආරම්භයේදීම වැහෙනවා. කොහෙත්ම ඒ තැන නිසා NPP එකට ඒක ප්‍රශ්නයක් නොවෙයි.

මේ ව්‍යුහය ඇතුලේ ඒකට ගැලපෙන විදිහට අධිකරණ ව්‍යුහය කොහොම සකස් වෙන්න ඕනද කියන එක නීති ක්ෂේත්‍රයේ අයත් එක්ක ඉතා ගැඹුරින් කතා කරලා තීරණයකට එන්න ඕන. ඒ කොහොම වෙතත් සියලුම ව්‍යවස්ථාදායක සභාවල මුලසුන්වල අධිකරණයේ සාමාජිකයින් (ඒ-ඒ තරාතිරමක විනිසුරුවරුන්) ඉන්නවා නම් හොඳයි කියල තමයි මට හිතෙන්නේ.

ආණ්ඩු ක්‍රමය මොන විදිහට සකස් වුණත් රටේ ගමන රඳා පවතින්නේ ආර්ථික ක්‍රමයත් එක්ක. ඉතිං ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කළ යුත්තේ ධනවාදී (ලිබරල්වාදී) දෘෂ්ටිය මත පදනම් වෙලා. ඒත් එහෙමයි කියලා පුරවැසියන්ගේ ජීවිත පිළිබඳ මූලික වගකීමෙන් (ඒ කියන්නේ පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සතුට සහ රැකවරණය සඳහා පුරවැසියාට උදව් කිරීමෙන්) රජය ඈත්විය යුතු නෑ. සමාජවාදීන් ඒ ‍යුතුකම් ගැන කියලා ධනවාදයට බැන්නට, ප්‍රශස්ත ධනවාදී රටවල් අපි හිතනවාටත් වඩා හොඳින් ඒ සඳහා මැදිහත් වීම් කරනවා. සමාජවාදීන් හිතුවට සමාජ සුබසාධනය කියන්නේ සමාජවාදී වැඩක් කියලා, නෑ! ඒක එහෙම නොවෙයි. මතක් කරල බලන්න, ඒ ගොල්ලොන්ගේ හිතේ තියෙන සිහිනය ගැන කියන්න, NPP එක කතා කළේ ෆින්ලන්තය, ස්වීඩනය වගේ ධනවාදී රටවල් ගැන මිසක් කියුබාව, උතුරු කොරියාව වගේ සමාජවාදී රටවල් ගැන නොවෙයිනේ නේද?

ගැමුණු කුසුම් දිසානායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan